ඉකුත් සතියේ එ.ජා.ප.ය විසින් ද ජ.වි.පෙ. ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ද තම පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශන නිකුත් කරන ලදී. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ද මේ වන විට නිකුත් වී ඇත. ඇත්ත වශයෙන්ම බැලුවහොත් මේ මැතිවරණ ප්‍රකාශන එකකවත් තඹ දොයිතුවක වැදගත්කමක් නැත. ඒ ඔවුන් කිසිදාක බලයට පත් නොවන නිසා මේ මැතිවරණ ප්‍රකාශන ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම යන කාරණය නිසාය. නමුත් මේ මැතිවරණ ප්‍රකාශනවල එක් පැතිකඩක් ගැන පමණක් මා මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙහිදී විශේෂයෙන්ම සැලකිය යුතු කාරණය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන්කොට ඇත්තේ බලයට පැමිණීමෙන් පසු කරන දේවල් නොව රාජ්‍ය බලය නොමැතිව පාර්ලිමේන්තුවට පත්වී කරන දේවල් ගැනය. කොස්‌ස ඇත්තේ මෙතැනයි.
එ.ජා.ප.ය, ජ.වි.පෙ. හා දෙමළ ජාතික සන්ධානය යන පක්‍ෂ 3 මීට සති 7 කට පමණ පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය දුන් ප්‍රධාන දේශපාලන බලවේග තුන විය. ජනාධිපතිවරණයේදී ජෙනරාල්ට සහයෝගය දීම සඳහා තමුන් කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකොට මේ බලවේග තුනම ජෙනරාල්ට සහයෝගය දීමට ඉදිරිපත් විය. එ.ජා.ප. යට, ජ.වි.පෙ.ට හා දෙමළ ජාතික සන්ධානයට ජෙනරාල් සමග ගිවිසුමක් නොතිබුණා මෙන්ම ජෙනරාල්ට සහයෝගය දැක්‌වීමේදී ඔවුනොවුන් අතර ද ගිවිසුම් ඇති කරගත්තේ නැති බව ඔවුහු ජනතාව ඉදිරියේ කියා සිටියහ.
ජෙනරාල් හා මේ දේශපාලන බලවේග අතරත් මේ දේශපාලන බලවේගවලට තම තමන් ගැන තිබූ අවබෝධය එතරම්ම ප්‍රබල විය. නමුත් මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිකුත්කොට ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බලන විට අපට පෙනෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි. මේවා දෙස බලනවිට සති 7 කට පෙර එකම පොදු ජනාධිපති අපේක්‍ෂකයකුට සහය දුන් දේශපාලන පක්‍ෂ අතර මෙතරම් වෙනස්‌කමක් පැවතිය හැකිද යන ප්‍රශ්නය පැන නගී. ඉකුත් සතියේ නිකුත් කරන ලද එ.ජා.ප. මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වී තිබුණේ පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන් අතින් සිදුවූ වැරදි පිළිගෙන ඒ අතීත වැරදි නැවත සිදුනොවන ආකාරයට නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ යුතු බවයි. ජ.වි.පෙ. ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ද ලංකාවේ ජනවර්ග අතර සමගිය තහවුරු කිරීම තම ප්‍රමුඛතා ලැයිස්‌තුවේ ආර්ථික කාරණාවලටත් ඉහළින් ස්‌ථානගත කොට ඇත. ජ.වි.පෙ. ප්‍රමුඛ මෙම සන්ධානයේ අදහස වී ඇත්තේ මේ රටේ බිහිවී ඇති දැවැන්ත දේශපාලන ඉරිතැලීම අද ජාති හා ආගම් අතර ඉරි තැලීම් දක්‌වා වර්ධනය වෙමින් පවතින බවත්, මේ ප්‍රවනතාවන් නැවැත්වීමට නම් ජාතික සමගිය තහවුරු කරන "ජාතික සංහිඳියා ආණ්‌ඩුවක්" පිහිටුවිය යුතු බවය.
එ.ජා.ප. හා ජ.වි.පෙ. යන පක්‍ෂ දෙකම සඳහන්කොට ඇති මේ කාරණා ගැන කිසිවකුටත් ප්‍රශ්නයක් තිබිය නොහැක. ඕනම වගකිවයුතු දේශපාලන පක්‍ෂයක් එවැනි ස්‌ථාවරයක සිටිය යුතුය. නමුත් ප්‍රශ්නය ඇත්තේ මොවුන්ගේම මිත්‍ර පක්‍ෂයක් වන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. එ.ජා.ප. ය හා ජ.වි.පෙ. යන බලවේග දෙකම ජාතික සමගිය හා සංහිඳියාව ගැන කතා කරන විට දෙමළ ජාතික සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය ජාතීන් බෙදීම ගැන කතා කරයි. දෙමළ ජාතික සන්ධානය විසින් 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිකුත් කොට තිබෙන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ විසින් 1972 දී වෙනම රාජ්‍යයක් ඉල්ලා කරන ලද වඩුක්‌කොඩෙයි ප්‍රකාශනයම වෙනත් වචනවලින් නැවත මුද්‍රණයට පත් කිරීමක් පමණි. අපට පැන නගින ප්‍රශ්නය වන්නේ මීට සති 7 කට පෙර එ.ජා.ප. හා ජ.වි.පෙ. දෙමළ ජාතික සන්ධානය සමග එක දේශපාලන ක්‍රියාමාර්ගයකට පිවිසෙන විට ඔවුන් මෙම මූලික ප්‍රශ්න ගැනවත් සාකච්ඡා කිරීමකින් තොරව ඔවුන් සමග සන්ධානගත වූයේ ද යන්නයි.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙනෙන්නේ ඔවුන් පසුගිය දශක 3 තුළ සිදුවූ දේවල් වලින් කිසිවක් ඉගෙන ගෙන නැති බවයි. එ.ජා.ප. ය හා ජ.වි.පෙ. යන පක්‍ෂ දෙකම පසුගිය වකවානුවේ සිදුවූ දේවලින් යම් යම් දේවල් ඉගෙන ගෙන ඇති බව පෙනේ. සියලු පාර්ශ්වයන් අතින් සිදුවූ වැරදි පිළිගත යුතු බවට එ.ජා.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ විට එය තුළ ස්‌වයං විවේචනයක් ද ගැබ්ව ඇත. යුද්ධය අවසන්වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්‌වූ පළමු අවස්‌ථාව මෙයයි. පසුගිය දශක 3 ක දෙමළ දේශපාලනය පිළිබඳ විවේචනාත්මක හා ස්‌වයං විවේචනාත්මක ප්‍රකාශනයක් කිරීමට මෙය වඩාත්ම යෝග්‍ය අවස්‌ථාවක් යෑයි කාට වුවත් සිතෙනු ඇත.
මෙහිදී 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ විසින් ඔවුන්ගේ පසුගිය ප්‍රතිපත්ති හා කල්ක්‍රියාව ගැන ස්‌වයං විවේචනයක යෙදෙන මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් කළ ආකාරයට දෙමළ ජාතික සන්ධානය ද තම ප්‍රතිවාදීන් විවේචනය කරන අතරතුර තමන්ට වැරදුනු තැන් ගැන ද යම් සඳහනක් හෝ තිබිය යුතුය. නමුත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කොටි සංවිධානය හෝ ඔවුන් විසින් දෙමළ ජනතාව ද ඇතුළුව හැමෝටම කරන ලද දැවැන්ත විනාශය ගැන එක වචනයක් වත් සඳහන් වී නැත. දෙමළ ජනතාවගේ විමුක්‌තිය වෙනුවෙන් සටන් කළා යෑයි කියන දෙමළ විමුක්‌ති කොටි සංවිධානය ඇමරිකාවේ එෆ්.බී.අයි. අභ්‍යන්තර ඔත්තු සේවාව විසින් 2008 දී ලෝකයේ තිබෙන භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය හැටියට නිල වශයෙන්ම නම් කිරීමට හේතු වූ සාධක ගැන කිසිදු පසු විපරමක් නැත. ඉන්දියාව, කැනඩාව, ඇමරිකා එක්‌සත් ජනපදය හා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් 27 ක් විසින් ද කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක් හැටියට නම් කර තහනම් කළේ මන්ද යන්න ගැන ද කිසිදු වග විභාගයක් නැත.
"ලංකාද්වීපය තුළ දෙමළ ජාතියක්" යන මැයෙන් දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට දී ඇති සිරස්‌තලයෙන්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද යන්න ගැන ඉතා පැහැදිලිව සඳහන්කොට ඇත. 16 වැනි ශත වර්ෂයේදී පෘතුගීසීන් ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ රාජධානි තුනක් තිබුණු බවත් ඉන් එකක් දෙමළ රාජධානියක් වූ බවත් ඔවුහු පවසති.
1951 දී දෙමළ රාජ්‍ය පක්‍ෂය විසින් දෙමළ ජාතිය වෙනම ජාතියක් නිසා ඔවුන්ට ස්‌වයං නිර්නය අයිතියත්, සන්ධීය පාලන ක්‍රමයකුත් ඉල්ලා කරන ලද ප්‍රකාශනය ඔවුන් නැවත සිහියට කැඳවා ඇත. ඉන් පසුව බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ද ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම ද අහෝසි කිරීමත්, උතුර නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනාවාස ඇති කිරීම 1958 හා 1983 ඇතුළුව දෙමළ විරෝධී ජාතිවාදී කෝලාහල ගැන ද ඔවුන් සඳහන්කොට ඇත.
මෙය 1985 වූයේ නම් එකී කාරණා පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වනු ඇත. නමුත් මෙය දැන් 2010 වර්ෂයයි. බොහෝ දේ මේ අතරතුර සිදුවී ඇත. බණ්‌ඩාරනායක - චෙල්වනායගම් හා ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් සිංහල පාර්ශ්වය විසින් උල්ලංඝනය කිරීම සිදු නොවිය යුතුව තිබූ වරදක් වූවා මෙන්ම දෙමළ කොටි සංවිධානය විසින් 1990 දී හා 2006 දී සටන් විරාමය කඩකොට නැවත යුද්ධය ආරම්භ කිරීම ඊටත් වඩා විශාල වරදක් විය. 1958 දී හා 1983 දී සිංහල මැර පිරිස් විසින් දෙමළ ජනතාව ඝාතනය කිරීමත් දේපොළ ගිනිබත් කිරීමත් සිදු කළ බව සත්‍යයකි. නමුත් ඊට පසු වකවානුවේදී දෙමළ ත්‍රස්‌තවාදීන් විසින් සිංහල සිවිල් වැසියන්ට එරෙහිව ඊටත් වඩා දරුණු ප්‍රචණ්‌ඩත්වයක් මුදාහරින ලදී.
මේ ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්වයන් විසින් කරන ලද වැරදි පිළිගෙන ඉදිරියට යායුතු යෑයි එ.ජා.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වී ඇති ඉල්ලීම වඩාත් සාධාරණම ඉල්ලීම වන්නේය. නමුත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එවැනි ප්‍රවේශයක් අපට දක්‌නට නොමැත. ඔවුන් කොටි සංවිධානය විසින් කරන ලද කිසිදු දෙයක් වරදක් ලෙසට පිළිගෙන නැත. කොටි සංවිධානය බිහිවීමට දෙමළ රාජ්‍ය පක්‍ෂය හා පසුව දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ විසින් කරන ලද මූලික කාර්යභාරය ගැන ස්‌වයං විවේචනයක් නැත. දෙමළ ජාතික සන්ධානය විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් බලාපොරොත්තු වන්නේ අන් කිසිවක් නොව කොටි සංවිධානය නැවතුණු තැන සිට ඉදිරියට කටයුතු කරගෙන යැමටය. ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත යුතු බවද උතුර නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු බවද ලංකාව තුළ ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත දමා සංධීය ආණ්‌ඩු ක්‍රමයක් ඇති කළ යුතු බවද දෙමළ ජාතික සන්ධානය කියයි.
මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් ඔවුන්ට ලැබෙන ජනවරම සමග දෙමළ ජනතාවගේ ස්‌වෛරී අයිතීන් පිළිගැනෙන ආකාරයට ලංකාවේ රාජ්‍ය ප්‍රතිව්‍යහගත කිරීමට සාකච්ඡා ආරම්භ කරන බව පවසා ඇත. ආණ්‌ඩුව තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් තමුන් ඉන්දියාවටත් බටහිර රටවලටත් තමන්ගේ අදහස ඉදිරිපත් කරන අතර එම අයිතීන් ලබාගැනීමට සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව පවසා ඇත.
එ.ජා.ප. ය ජාතික සමගිය ගැන කතා කරයි. ජ.වි.පෙ. ද ජාතික සංහිඳියා ආණ්‌ඩුවක් ගැන කතා කරයි. නමුත් එක අතකින් අත්පුඩි ගැසීමට නොහැක. තමන්ගේ මිත්‍ර බලවේගයන් වන දෙමළ ජාතික සන්ධානයේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන එ.ජා.ප. ය හා ජ.වි.පෙ. දරන්නේ මොනවගේ අදහසක් දැයි රටේ ජනතාව දැනගත යුතුය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් ඉකුත් සතියේ සිංගප්පූරුවේ "ස්‌ට්‍රේට්‌ස් ටයිම්ස්" නමැති පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී මේ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇත. ඔහු කෙලින්ම උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවත්, රට තුළ, ෆෙඩරල් නැතහොත් සන්ධීය ක්‍රමයක් මොනම හේතුවක් යටතේවත් ඇති නොකරන බවත්, පළාත් සභාවලට පොලිස් බලතල ලබානොදෙන බවත් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කොට ඇත. දැන් බලනවිට මේ රටේ පැහැදිලි දේශපාලන ස්‌ථාවරයක් තිබෙන්නේ අවි නැති කොටි හැටියට කටයුතු කරන දෙමළ ජාතික සන්ධානයටත් රාජපක්‍ෂ ආණ්‌ඩුවටත් පමණි.
එ.ජ.නි.ස. හා ජ.වි.පෙ. පැත්තෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නිල වශයෙන් යම් ප්‍රකාශනයක් ජනතාවට කළ යුතුය. මේ පක්‍ෂ තුන මීට කෙටි කලකට පෙර එක මැතිවරණ වේදිකාවේ සිටි නිසා එක් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානය බෙදුම්වාදය ගැන කතා කරන විට අනෙක් පක්‍ෂ දෙක බෙදුම්වාදය ගැන කතා කරන උදවිය සමග "සමගිය" හා "සංහිඳියාව" ගැන කතා කරන විට, විවිධ සැකයන් මිනිසුන් තුළ ජනිතවීමට ඉඩ ඇත.
සී. ඒ. චන්ද්‍රප්‍රේම
courtesy: divaina

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.