සිසුන් තඩි ගැසීම හෙවත් යකාගේ පාට සෙවීම
April 3, 2010, 10:20 AM

බම්බලපිටියේ කාන්තා විදුහලක විදුහල්පතිනියක විසින් එම පාසලේ සිසුවියක දණ ගස්‌වා තබා දැන හෝ නොදැන විශාල විනාශයක්‌ සිදු කර ඇතැයි ඊයේ "දිවයිනේ" (02 දා) පළ විය. ඉගෙනීමෙහි ඉතා දක්‍ෂ, විදේශ ශිෂ්‍යත්වයක්‌ පවා ලද දැරියක වූ ඇය ඉහත කී දඬුවමට ලක්‌වන විට කොඳු ඇට පෙළේ ආබාධයකින් පෙළෙමින් සිට ඇත. දණ ගසා ගෙන සිටීමේදී ඇගේ කොඳුඇට පෙළේ කොටසක්‌ ඉවතට පැන ඇතැයි වෛද්‍යවරු කී බව "දිවයිනේ" පළ වී තිබේ. යකා කොතරම් කලුද යන්න තීරණය කිරීම සඳහා තවමත් මීටරයක්‌ සාදා නැත. එබැවින් පෙර කී දැරියගේ සිද්ධිය හෙළා දැකීමෙන් පමණක්‌ නැවතී. ඒ ගැන වැඩිදුර කතා කිරීම නුදුරු දිනකට කල් තබා මේ රටේ ගුරු පරම්පරාව සහ ශිෂ්‍ය පරම්පරාව අතර පවත්නා සම්බන්ධයේ ස්‌වරූපය ගැන කතා කරමු.

මිනිසා යනු ශිෂ්ඨාචාරය දිගේ ඉතා වේගයෙන් ගමන් කළ ජීවියෙකි. රෝදයෙන් වේගය ද, ගින්දරෙන් ආලෝaකය ද ලබාගත් හේ අවසානයේදී බුද්ධිමතෙක්‌ද කුහකයෙක්‌ද බවට පත් විය. සියලු කරදර පටන් ගන්නේ එතැන් සිටය. බල තණ්‌හාව, ක්‍රෝධය, ද්වේෂය යන සියල්ල පටන් ගන්නේ මිනිසා බුද්ධිමත් කුහකයකු බවට පත් වූ තැන් සිටය. ක්‍රිස්‌තුන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලදී. විශිෂ්ට යුද වීරයකු ලෙස සලකන මහා ඇලෙක්‌සැන්ඩර් ශ්‍රී ලංකාවට පැමිණීම දක්‌වා වූ මහමගදී සිදු කළ ආක්‍රමණයේදී මිලියන ගණනක්‌ මිය ගියහ. හිට්‌ලර් කළේ ද, ප්‍රභාකරන් කළේ ද මේ ටිකම ය. හිට්‌ලර් මළේ ද ප්‍රභාකරන් මළේ ද ඊට වන්දි පිණිස ය. බම්බලපිටියේ කාන්තා විද්‍යාලේ දැරිය දණ ගැස්‌වීම සහ මේ රටේ ගුරු ගෝල සම්බන්ධතාවය අතර සම්බන්ධය ඉහත සඳහන් කරුණු සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා ඇත.

ඒ මෙසේය... සියලු අවකල් ක්‍රියාවලට හේතුව මනුෂ්‍ය චින්තනය පිරිහීමයි. ඉතිහාසය දෙස ආපසු හැරී බැලූවිට ඒ පිරිහීමේ ගමන් මග පැහැදිලිව දැකිය හැකිය. මෙයට දසක කිහිපයකට පෙර ගුරුවරු ළමයින්ට දඬුවම් කළේ විනය, ගුරු ගෞරවය, අධ්‍යාපනය, යන සාධක නිසි ලෙස පවත්වාගෙන යනු පිණිස ය. එහෙත් අද ගුරුවරුන් ළමයින්ට දඬුවම් කරන්නේ පළිගනු පිණිසය. ළමයින්ට පයින් ගසන, පුටු කකුල්වලින් තඩිබාන, කොනිත්තන, ඩෙස්‌ පුටු යට රිංගවන ගුරුවරු අද ඕනෑ තරම් වෙති. ප්‍රසිද්ධියේ ලබන මෙවැනි දඬුවමක්‌ මගින් ළමයාගේ පෞරුෂය පිරිහෙයි. ඔහු ක්‍රම දෙකකට පළි ගනී. පළමුවැන්න, මග රැක සිට ගුරුතුමාට තැලීමය. දෙවැන්න සමාජය වෙත ප්‍රචණ්‌ඩත්වය මුදා හැරීම ය. පාසල කෙරෙහි කලකිරී අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා දරුවෝ සමහර විට සිය ජීවිතයේ දෙවැනි අවදිය පටන් ගන්නේ පාතාලයෙනි.

ඊළඟට වැලිකඩ සහ බෝගම්බර ඔවුනට ඉතා හුරුපුරුදු තැන් බවට පත් වෙයි. හිර ගෙදරත් සමාජයත් අතර එහා මෙහා ගමන් කරන ඔවුහු බන්ධනාගාර තුළ පවත්නා සියලු දුෂ්චරිත සමාජය වෙත අපවහනය කරති. මතුයම් දවසක එල්ලුම්ගසට හෝ ජීවිතාන්තය දක්‌වා හිරදඬුවම් නියම වන දවසට සිය ගුරුවරුන්ගේත් වැඩිහිටියන්ගේත් බෙල්ල මිරිකීමට ඔවුනට සිතෙයි. ළමයා යනු ඉතා සියුම්, ඉතා සංවේදී ජීවියෙකි. ඉතා සුළු දෙයින් සමස්‌ත ජීවිතයම ආපස්‌සට ගැනීමට ඔහු සමත් ය.

අද පාරේ කුඩු විකුණන, ගංජා විකුණන, කොල්ලකන වැඩිදෙනා ළමා වියේදීම පාසල් ජීවිතය බිඳ ගත්තෝ වෙති. දරුවාගේ ජීවිතය කෙරෙහි ගුරුවරයා සතු බලපෑම ඉතා තදින් වියෑකී යමින් පවතී. පාසල් ගුරුවරයාට වඩා ටියුෂන් ගුරුවරයා අද ජනප්‍රිය වන්නේ ළමයාගේ අධ්‍යාපන ප්‍රශ්නයට මෙන්ම පෞද්ගලික ජීවිතයට ද ඇමතීමට ඔහු සූදානම් නිසා ය. ළමයින් තඩි නොගසන ලෙස අපි ගුරුවරුන්ගෙන් ඉල්ලමු. යකා කියන තරමටත් වඩා කලු වීමට ඉඩ තිබේ.

courtesy: divaina


   Comments(0)


  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com