ඡන්ද දායකයාගේ දවස අදයි. මෙවර මහමැතිවරණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වූයේ පෙබරවාරි මස 26 වැනිදාය. එතැන් පටන් ගෙවීගිය දින කිහිපයේ අස්‌වැසිල්ලක් නැති කන්කරච්චලයක් වූ විනාශකාරී මැතිවරණ ප්‍රචාරක කටයුතු ද දැන් අවසන්ය. සෙන්ටිමීටර්වලින් මනින තරමින් සිනාසෙමින් තාප්ප, බෝක්‌කු, පාලම් මත හිනැහී සිටි මන්ත්‍රී අපේක්‍ෂකයන්ගේ තීරණාත්මක දිනය උදාවී තිබේ. අද ඡන්ද දායකයාගේ දිනයේදී බුද්ධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ වගකීමක් මේ රටේ ජනතාව වෙත පතිතව තිබේ.
මේ මැතිවරණයෙන් පසුව රට සංවර්ධනය කළ යුතුමය. පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරුන් රට හදන්නට නායකත්වය දිය යුතුය.
හොරු කොමිස්‌කාරයින්, වංචාකරුවන්, බොරුකාරයින්, ජඩ දේශපාලනයේ නිරත වන්නන් 2010 අලුත් පාර්ලිමේන්තුවට පත් කළ යුතු නැත. එවැනි පිරිසක් හරහා රට සංවර්ධනය කළ නොහැකිය. එනිසා ජනතාව අද සිය ඡන්දය දිය යුත්තේ රටට ආදරේ, ජනතා නියෝජිත පිරිසකටය.
1948 දී පරසුද්දන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස ලැබීය. පරසුද්දන්ගේ මැතිවරණ ක්‍රම හරහා 1948 සිටම 2010 තෙක් අපි මෙරට පාලනයකට නායකයින් තෝරා පත් කර ගනිමු. 1948 ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ලැබූ අප නව යටත් විජිතකරණයෙන් ගැලවීමට නොහැකිව අදටත් අඳුරේ අතපත ගාමින් සිටිති. ප්‍රභාකරන් 1983 දී වපුරන්නේ ඒ අධිරාජ්‍යවාදීන් විසින් මේ රට තුළ රෝපණය කළ වර්ගවාදයේ සහ ත්‍රස්‌තවාදයේ වෘක්‍ෂය. මහින්ද රාජපක්‍ෂ 2009 මැයි 19 වැනිදා ශ්‍රී ලංකාවට දෙවැනි නිදහසද දිනා දුන්නේය.
දැන් අපට තිබෙන්නේ රට සංවර්ධනය කිරීමටය. අපට තිබෙන එකම අභියෝගය සංවර්ධන ය ය. ඇමරිකාව, ජපානය පරයා ඉහළට ඒමය. ඒ යන ගමනේදී ඇමරිකන්කාරයටත්, ජපනාටත් වඩා උසස් මනුදම්, ගුණදම් ද අපේ මිනිසුන් තුළ තිබිය යුතුය. ඒ මනුදම්, ගුණදම් සහිත සංවර්ධිත මිනිසුන් සිටින රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට නම් අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට යෑවිය යුත්තේ මනුදම්, ගුණදම් සහිත රටේ පොදුජන යහපත පතන, රට සංවර්ධනයට කැමති, රටේ දරුවන්ට සුබ අනාගතයක් පතන මන්ත්‍රීවරු පිරිසකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දෙසීය විසිපහකින් සමන්විත එකකි. නීතිs සම්පාදනය කරන්නේ ද, තීන්දු තීරණ ගන්නේ ද මේ ආයතනය මගිනි. පාර්ලිමේන්තුව මෙරට උත්තරීතර ආයතනය වන්නේ ද ඒ පදනමෙන්ය. ව්‍යවස්‌ථාමය බලය සහිත උත්තරීතර පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු දෙසීය විසිපහක් තෝරාගන්නා මහමැතිවරණය පැවැත්වෙන අද දිනයේ ජනතාව බුද්ධිමත්ව, වගකීමෙන් හා දූදර්ශීව කටයුතු කළ යුත්තේ එනිසාය.
මෙවර පාර්ලිමේන්තුව රට සංවර්ධනයට නායකත්වය දෙන පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට ජනතාවට ලැබී තිබෙන අවස්‌ථාව අපතේ හැරිය යුතු නැත. අද ජනතා කැමැත්ත මත පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරු තව වසර හයක් ඒ ජනතා පරමාධිපත්‍යයේ බලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති. ආණ්‌ඩු බලය ගන්නා කණ්‌ඩායම නියෝජනය කරන පිරිසකට ඇමැතිකම් ද රාජ්‍ය ආයතනවල බලය ද, අමාත්‍ය කාර්ය මණ්‌ඩල ද, යාන වාහනද ආදී කී නොකී බොහෝ වරප්‍රසාද ලැබේ. මොව්හු හොරුනම් කොමිස් ගසන්නෝ නම්, මැරයෝ නම්, ආත්මාර්ථකාමී බඩගෝස්‌තරවාදී පිරිසක් නම් රට හදනු වෙනුවට ඔවුනුන්, ඔවුනගේ ඥාතී හිතමිතුරන් ආදීන් පමණක් හරි හම්බ කරමින් රට තවදුරටත් විනාශ කරනු ඇත.
එනිසා අද මෙරට ඡන්දදායකයා තම වගකීම අකුරටම ඉටු කරමින් රටට ආදරය කරන, පරාර්ථකාමී සැබෑ දේශප්‍රේමීන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතුය. පාර්ලිමේන්තුවට යන්නේ මහජන නියෝජිතයින්ය. ඔවුන් ජනතාවගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට ගිය ද පසුව ජනතාව නොව දේශපාලන වුවමනා ඉටුකරන බව පෙනේ.
මෙවර මැතිවරණයට පිළිගත් දේශපාලන පක්‍ෂ තිස්‌හතක් සහ ස්‌වාධීන කණ්‌ඩායම් 301 ක අපේක්‍ෂකයෝ 7620 ක් තරග වැදෙති. මොවුන් අඩු තරමේ ජනතා අයිතීන් සුරකමින් ජනතාව වෙනුවෙන් දැන්වත් ක්‍රියාකිරීමට අදිටන් කරගත යුතුය.
මොවුනගෙන් කී දෙනකු ජනතාවට සේවය කිරීමේ අරමුණින් මැතිවරණයට ඉදිරිපත් වූයේ දැයි මේ අයගේ හෘද සාක්‍ෂිය දනී. රට සංවර්ධනය කළ හැකි මේ මොහොතේ වත් මේ 225 දෙනාම එකට එක්‌ව කටයුතු කළ යුතුය.
පසුගිය පෙබරවාරි 26 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වූ මොහොතේ සිට සල්ලි ගස් සෙලවිණි. රුපියල් ලක්‍ෂ ගණනින් නොව රුපියල් කෝටි ගණන් මුදල් වැය කරමින් කළ ප්‍රචාරක කටයුතු ජනතාව බලා සිටියහ. ඇතැමෙකු රුපියල් කෝටි දහයකටත් අධික මුදලක් මහමැතිවරණය වෙනුවෙන් වැය කළහ.
එවන් මුදලක් වැය කර පාර්ලිමේන්තුවට පිවිසි පසු ඒ වැය කළ මුදල් මෙන් දස දහස් ගණනින් උපයන්නට ද සමහරු නොපෙළඹෙත්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීකම මගින් ලැබෙන බලයෙන් හම්බ කරන්නට එන දේශපාලනඥයින් කවුද යන්න ජනතාව තේරුම්ගත යුතුය. එවැනි පිරිස රට හැදීම කෙසේ වෙතත් රට නැසීමට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාසය කරමු. 1948 සිට ගෙවීගිය කාලයේ දී මෙවැනි අවස්‌ථාවාදී දේශපාලකයින් නිසා රටට වී ඇති නස්‌පැත්තිය දැන්වත් නතර කළ යුතු නොවේද?
එසේම මුදල් බලයට ඡන්ද අයිතිය යටකළ යුතුද නැත. මැතිවරණ කාලයේ දී මෙරුන් සේ මතුව පැමිණි එවැනි දේශපාලකයන්ට නිසි පිළිතුරුදීම ජනතාවගේ වගකීමය.
මනාප දන්සල්ද, පින්කම්ද පොරොන්දු ද දෙමින් පසුගිය දින කිහිපයේදී නගරයෙන් නගරයට ගමින් ගමට, ගෙන් ගෙට පැමිණි අවස්‌ථාවාදී දේශපාලනඥයා ජනතාව මේ වන විටත් හඳුනාගෙන ඇතැයි සිතමු. එනිසා උදෑසනට ඡන්ද පොළට යන ඡන්ද දායකයා මුලින්ම කළ යුත්තේ රට හදන පක්‍ෂයන්, ඒ රට හදන පක්‍ෂයේ අපේක්‍ෂකයින් තිදෙනකුත් නිවැරදිව හඳුනා ගෙන මනාපය පල කිරීමය.
වසර තිහක් තිස්‌සේ එවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා ඇත. ප්‍රභාකරන් නැති රට අනිවාර්යයෙන්ම සංවර්ධනය කළ යුතුය. සංවර්ධනය කළ හැකිය. මේ වන විටත් ජනතාව රට හදන නායකයා ලෙස තෝරාපත්කරගෙන ඇත්තේ මහින්ද රාජපක්‍ෂය. මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරු දෙසීය විසිපස්‌දෙනාගේම නායකයා මහින්දය. විධායක ජනපති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා "මහින්ද චින්තනය" යටතේ සංවර්ධනය කරන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු දෙසීය විසිපස්‌දෙනා පෙරටුකරගෙනය. විශේෂයෙන්ම එක්‌සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගනු ලැබුවහොත් ඇමැතිකම් ද ලැබෙනු ඇත්තේ සන්ධානයෙන් තේරෙන මන්ත්‍රීවරුන්ටය. පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්‍ෂයට ගියහොත් බිහිවන්නේ විපක්‍ෂයේ ආණ්‌ඩුවකි. දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ සන්ධානයට බහුතරය ලැබෙනු ඇති බවය. මෙහි ඇත්ත නැත්ත හෙට සවස් වන විට ජනතාවට දැන ගැනීමට හැකිවනු ඇත.
ඡන්ද දායකයාගේ දවස අද නිසා ජනතාවට තම ඡන්දය රිසි සේ පාවිච්චි කිරීමට අවස්‌ථාව හිමිව තිබේ.
මෙවර මහමැතිවරණය එක අතකින් සුබ දිසාවකට ගොස් තිබේ. හේතුව පෙර මැතිවරණවලට වඩා මෙවර මහමැතිවරණය සාමකාමී පූර්ව මැතිවරණ කාලයක් බවට පත්ව තිබීමය. කුරුණෑගලදී සන්ධාන ආධාරකරුවකුගේ ඝාතනය හැරෙන්නට වෙනත් මිනිස් ඝාතනයක් මෙවර සිදුනොවීම අපි අගේ කරමු. නාමයෝජනා පත් බාරදුන් මොහොතේදී මෙරට පොදු ජනතාව ප්‍රාර්ථනා කළේ සාමකාමී සාධාරණ මැතිවරණයකි. ප්‍රචණ්‌ඩත්වයෙන් තොර මිනිස් ඝාතන නැති මැතිවරණයක් කරා මේ මිනිස් සමාජය ගමන් කරමින් සිටීමම අපට සතුටකි. ජනතාව පෙරට වඩා බුද්ධිමත්ව, වගකීමෙන් හා ඉවසීමෙන් මෙවර මැතිවරණයේ කටයුතු කර ඇත.
අවසන් වරට පැවැත්වු 2004 මහමැතිවරණයෙන් පොදුජන එක්‌සත් පෙරමුණ ඡන්ද 38,87,823 ලබාගනිමින් මන්ත්‍රීධුර 91 ක් ලබාගත් අතර ජාතික ලයිස්‌තු මන්ත්‍රීධුර 14 ක් ද සමගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 105 ක් දිනාගැනීමට සමත් විය.
එක්‌සත් ජාතික පක්‍ෂය 2004 දී ඡන්ද 3,498,370 ලබාගනිමින් මන්ත්‍රීධුර 81 ක් දිනාගත්තේය. ඔවුනට හිමි ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුර 13 ත් සමඟ එ. ජා. පයට පාර්ලිමේන්තු ආසන 94 ක් හිමිවිය. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඡන්ද 14,3307 ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන හතක් දිනාගත් අතර සෙසු පක්‍ෂ අතර සෙසු මන්ත්‍රීධුර 19 බෙදී ගොස් තිබිණි.
මෙවර මැතිවරණයේදී මන්ත්‍රීධුර බෙදීයනු ඇත්තේ කෙසේද? එය තීරණය කරන්නේ අද ගසන ජනතා කතිරය මතිනි. ජනතා කතිරයට ඇති බලය කවරාකාරදැයි මේ රටේ දේශපාලනඥයින්ට කියාදිය හැක්‌කේ අදය. ගහගනිමින්ද, මිනිසුන් මරමින් ද මනාප ඉල්ලන දේශපාලකයින්ට මෙවර මහමැතිවරණය පාඩමක් වන්නේ නම් යෙහෙකි. ජනතා කැමැත්ත රුපියල් සත වලට හෝ මැර බලයට යට නොවන්නක් බව පෙන්වීමට ජනතාවට හැකිවිය යුතුය.
රට සංවර්ධනය කිරීමට ඇප කැපවන දේශපාලන නායකයින් කවුරුන් විය යුතුදැයි ජනතාව තීරණය කරද්දී මෙරට මැතිවරණද තව වසර හයක් යනතුරු නතර කිරීමේ වගකීමක් ද අප සතුය. ලබන වසරේ පළාත් පාලන මැතිවරණයක් ද පැවැත්වීමට නියමිතය. එතැනින් පසු 2016 වනතුරු රටට මැතිවරණ අවශ්‍ය නැතැයි ජනතාව විශ්වාස කරති.
හේතුව මේ මැතිවරණ වෙනුවෙන් වැයවන ධනස්‌කන්දය අපරාධයක් බවට පත්ව ඇති නිසාය. රාජ්‍ය දේපළ ද පුද්ගලික ධනය ද, වටිනා මිනිස් පැය ගණන්ද පමණක් නොව මුළු පරිසරයම මේ මැතිවරණවලින් විනාශ වන තරම රටට ඔබින්නේ නැත. මේ මුදල් කාලය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කළ නොහැකිද? එනිසා ජනතාව අපේක්‍ෂා කරන්නේ මේ මහමැතිවරණයත්, ලබන වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙනුත් පසුව 2016 තෙක් මැතිවරණ නැති රටකි. පැතිය යුත්තේද එවැන්නකි. ඕනෑවටත් වැඩිය මැතිවරණ තබමින් ඡන්ද දායකයාට මැතිවරණ එපා කරවා තිබෙන නිසා දෝ මෙවර මැතිවරණයේ ජනතාව බුද්ධිමත්ව හැසිරී තිබේ.
මනාප බලු පොරය ද දැන් අවසන්ය. පැවැත්වෙන මහමැතිවරණයේ ප්‍රතිඵල මත දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් දරන කිහිප දෙනකුට ඒ මන්ත්‍රීකම අහිමිවීමේ අවධානමක් ද මතුව තිබේ. ඒ වෙනුවට අලුත් මුහුණ කිහිපයක්‌ම පාර්ලිමේන්තුවේ දකින්නට ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කරන මන්ත්‍රීවරු කල්පනා කළ යුත්තේ ජනතා කතිරය කොතරම් ප්‍රබලද යන්න පමණි. පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට එන පිරිස ද කල්පනා කළ යුත්තේ රට හැදීම මිස තමන් හැදීම සඳහා වූ ඉදිරි ගමනක් නැති බවය. නමුත් කෙසේ හෝ මුදල් තම පරපුරට සුරසැපදීම සඳහා යොමු වන්නේ නම් රට අනතුරේය.
අප ජීවත් වන්නේ මිනිස් සමාජයකය. සමාජයක කිහිපදෙනකු පමණක් ඉහළට එසැවී සුරසැප විඳීම තාවකාලික බව ද මේ අය තේරුම්ගත යුතුය. අපේ දරුවන්ට අවශ්‍ය වන්නේ සංවර්ධිත රටකි. අතමිට සරු, යාන වාහන ඇති කෑම බීම ඇති දියුණු සංස්‌කෘතියක් උරුම රටක අපේ දරුවන්ට නිදහසේ, නිවහල්ව ජීවත් වන්නට ඉඩදිය යුතුය. මන්ත්‍රීකම ඇමැතිකම ළඟ දනින් නොනැවටෙන පරපුරක් අපි බිහිකළ යුතුය. අද කතිරය ගැසිය යුත්තේ ඒ අපේක්‍ෂාවෙනි. එළඹෙන වසර හයේදී අපේ දරුවන්ට රස්‌සාවක් ඉල්ලා මන්ත්‍රී ළඟට හෝ ඇමැතිවරයා ළඟට යැමට ඉඩ සලස්‌සා නොදීම ජනාධිපතිවරයාගේ වගකීමකි.
රැකී රක්‍ෂා සුලබ කළ හැක්‌කේ නිෂ්පාදනය වැඩි කිරීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීම යනු සංවර්ධනයේ අයන්නය. නිෂ්පාදනය වැඩි කරද්දී නාස්‌තිය, දූෂණය ද, කොමිස් ගැහිලි ද, හොරකමද නතර කළ යුතුය. මෙතෙක් කලක් රාජ්‍ය සේවකයාට හොරකම පුරුදු කළේ දේශපාලකයින්ය. හෙටින් පසු අපි අලුත් දේශපාලන සංස්‌කෘතියක් පතමු. මනාප බලු ක්‍රමයද එළඹෙන දිනක නැතිවනු ඇතැයි විශ්වාස කරමු. ස්‌වයංපෝෂිත ආර්ථිකයක්, නිෂ්පාදන ආර්ථිකයක්, සංවර්ධනය වූ රටක්, මනුදම් ගුණදම් සහිත ජාතියක ඉපදෙන්නට ලැබීම ද පිනකි. එවන් පින්බිමක් පතන ඔබ අනාගත දරුවන් ගැන සිතා අද කතිර ගැසිය යුත්තේ ජනතාවට ආදරේ, රටට ආදරේ අවංක දේශපාලනඥයින්ටය. කතිරය ගැසීමට පෙර තෝරාගත් පක්‍ෂයත් අපේක්‍ෂකයින් තිදෙනාත් පිළිබඳ තව වරක් සිතීම වරදක් නොවේ.
courtesy: divaina

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.