නිලධාරීන්ට බැරි තැන, පාසල් සිසුන් වැඩට බසී! අලි-මිනිස් ගැටුම නවතන ‘Elephant Journey’ ඇප් එක.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ රැසක අලි-මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර වන, මාරාන්තික ඛේදවාචකයක් බවට පත්වෙලා. මේ යන විදියට අලි ඇත්තු 500ක් වත් මේ අවුරුද්ද ඉවර වෙනකොට මැරෙයි. මිනිස්සුත් 150-175 ක් මැරෙයි. වනජීවී දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මේ සඳහා විසඳුම් හොයමින් අඳුරේ අතපත ගාන අතරතුර, මේ ගැටුම පවතින කලාපයකින්ම, ඒ වේදනාව ඇස් පනාපිට දකින තරුණ සිසුන් පිරිසක් අලුත් තාක්ෂණික විසඳුමක් අරගෙන ඉදිරියට ඇවිත්.

මේ තමයි Elephant Journey මොබයිල් ඇප් එක. මේ අපූරු නිර්මාණයේ පුරෝගාමියා ගල්ගමුව, අඹන්පොළ ප්‍රදේශයේ උසස් පෙළ හදාරන, වන සතුන්ට හා වනජීවී ඡායාරූපකරණයට දැඩි සේ ආදරය කරන විනුර අබේරත්න මල්ලී. ඔහු සමඟ සිතිජ සහ චමල් කියන ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු එකතු වී, තමන්ගේම අත්දැකීම් සහ දැනුම යොදාගෙන තාක්ෂණයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ විසඳුම දැන් ප්‍රායෝගිකව ජනතාවට භාවිතා කරන්න පුළුවන් මට්ටමට ඇවිත්.

“දැනුවත් වෙමු, අනතුරු වළකමු, ජීවිත සුරකිමු!” (Aware, Avoid & Save) යන්න තේමාව කරගත් මේ Elephant Journey ඇප් එකේ මූලිකම අරමුණ, අනතුරුදායක අලි-මිනිස් හමුවීම් වළක්වා ගැනීමට ප්‍රදේශවාසීන්ට තත්‍ කාලීන තොරතුරු ලබා දීමයි.

📱 ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

📍 අලි ඇතුන් දුටු තැන් වාර්තා කිරීම: පරිශීලකයා සිටින තැන අවට අලියෙකු දුටුවහොත්, සිටින ස්ථානය, කෙටි විස්තරයක් සහ ඡායාරූපයක් සමඟ ක්ෂණිකව ඇප් එකට ඇතුළත් කළ හැකියි.

🚨 ක්ෂණික දැනුම්දීම් (Instant Alerts): යමෙකු අලියෙකු දුටු බව වාර්තා කළ සැනින්, ඒ අවට කිලෝමීටර 5ක සිටින සියලුම ඇප් පරිශීලකයින්ට ඒ බව දැනුම් දීමක් (Alert Notification) ලැබේ. 

🗺️ දෛනික ගමන්මග සඳහා විශේෂ දැනුම්දීම්: ඔබට ඔබේ දෛනික ගමන් මාර්ග (උදා: නිවසේ සිට කුඹුරට යන පාර) ඇප් එකේ සටහන් කර තැබිය හැකියි. එම ප්‍රදේශය ආසන්නයේ අලියෙකු ගැවසෙන බව වාර්තා වුවහොත්, ඔබට ඒ පිළිබඳව විශේෂ දැනුම්දීමක් ලැබේ.

🐘 අලි මරණ සහ වන අපරාධ වාර්තා කිරීම: අලි මරණ, වන විනාශයන් හෝ වෙනත් වන අපරාධ දුටුවහොත්, ඒ ගැන මෙම යෙදුම හරහා තොරතුරු ඇතුලත් කළ හැක.

📊 දත්ත වාර්තා: මාසිකව සහ වාර්ෂිකව අලින්ගේ හැසිරීම, ගමන් රටා, සිදුවූ මරණ සහ අනතුරු පිළිබඳ වටිනා දත්ත වාර්තා ලබාගත හැකිය.

ඇයි මේක ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට වැදගත්?

සාමාන්‍යයෙන්, දවසකට කාල රාමු දෙකක දී අලි සහ මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යනවා. සවස් කාලයේදී, මිනිසුන් රැකියාවලට, පාසල්වලට ගොස් නැවත නිවෙස් බලා එන විට, අලි ඇතුන් ආහාර සහ ජලය සොයා ගම් වදිනවා. අලුයම් කාලයේදී, මිනිසුන් කුඹුරට, වැඩට, පාසැලට යෑමට පිටත් වන විට, රාත්‍රී කාලයේ මානව ජනාවාස සහ ගොවිබිම් අවට සැරිසැරූ අලි ඇතුන් නැවත කැලයට ගමන් කරනවා.

මෙම අවස්ථා දෙකේදීම මිනිසුන් සහ අලින් අනපේක්ෂිතව හමුවීම් සිදුවීමේ අවදානම ඉතා වැඩියි. අලි – මිනිස් ගැටුමේ සිද්ධි සියුම්ව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කාරණයක් තමයි අලින්ගේ පහරදීම් වලට මිනිසුන් වැඩි වශයෙන් ලක් වන්නේ මෙන්න මේ කාල රාමු දෙක තුලදී. අපිට අලින්ව දැනුවත් කරන්න බැරි නිසා, අපිට තියෙන එකම විකල්පය තමයි මිනිසුන්ව දැනුවත් කරන එක. Elephant Journey ඇප් එකෙන් කරන්නේ අන්න ඒ දේ.

උදාහරණයක් ලෙස, උදෑසන අවදි වන ගොවියෙකුට ඇප් එක පරීක්ෂා කර, රාත්‍රියේ තම ගම්මානයේ අලි ගැවසුණු බවට වාර්තා වී ඇත්දැයි බලාගත හැකියි. එවිට ඔහුට කුඹුරට හෝ වෙනත් ගමනක් යාමට අවශ්‍ය නම් විකල්ප මාර්ගයක් තෝරා ගැනීමට හෝ වඩාත් සුපරීක්ෂාකාරීව ගමන් කිරීමට හැකිය. ගමේ සියලු දෙනාම මෙය භාවිතා කළහොත්, එක් අයෙකු දකින දෙය අනෙකාගේ ජීවිතය බේරා ගැනීමට හේතු වෙනවා.

නුදුරේදීම අඹන්පොලින් ඇරඹෙන ක්‍රියාන්විතය

මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට, Elephant Journey කණ්ඩායම ඉදිරි සති අන්තවලදී අඹන්පොළ ප්‍රදේශයේ වැඩිම ගැටුම් සහිත ගම්මාන 4ක සංචාරය කිරීමට නියමිතයි. ඔවුන්ගේ ඉලක්කය නිවාස 200කට ගොස්, සෑම නිවසකම අවම වශයෙන් එක් දුරකථනයක හෝ මෙම ඇප් එක ස්ථාපනය කර දීමයි. Elephant Journey App එකේ පළමු rollout එක මෙයයි. සාමාන්‍යයෙන් app එකක් rollout කරනවාට වඩා ඉලක්කගත පරිශීලකයින් වෙත ගොස් ඔවුන් දැනුවත් කරමින් මෙම යෙදුම ඔවුන්ගේ දුරකථන වල ස්ථාපිත කරන්න සහය වෙමින් මේ සඳහා යම් පරිශ්‍රමයක් දරන්න වෙනවා. මෙමගින් ගම්මාන කිහිපයක් පුරා Elephant Journey ජාලයක් නිර්මාණය කරගෙන ප්‍රායෝගික තලයේ අත්හදාබැලීමක් කරන්නයි සූදානම. එමගින් එම ගම්මාන වල ජීවත් වන සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, ජනජීවිත සුරක්ෂිත කරමින් අලි ඇතුන් වෙත එල්ල වන තර්ජන දීර්ඝ කාලීනව සමනයකට පත් කිරීමත් තමයි උත්සාහය. මෙය ලංකාවේ අලි-මිනිස් ගැටුම නිරාකරණය කිරීමටත්, ජන ජීවිත සුරක්ෂිත කිරීමටත්, වනජීවී සංරක්ෂණයටත් නවීන තාක්ෂණය ප්‍රායෝගික තලයේ යොදා ගන්නා ඵෙතිහාසික සන්ධිස්ථානයක් වේවි. ඒ වගේම ලෝක මට්ටමේ “සංරක්ෂණ තාක්ෂණ” (Conservation Technology) ක්ෂේත්‍රයේ නව පිටුවකුත් පෙරලන සුවිශේෂී උත්සාහයක් වේවි.

ඇයි ඉතින් අඹන්පොලින්ම මේ වැඩේ පටන් ගන්නේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒකට හේතු 2ක් තියනවා. එකක් තමයි මේ වන විට ලංකාවේ වනගතව ජීවත් වන උසම හස්ථියා වන “කාවන්තිස්ස” ඇතා හෙවත් ඒ ප්‍රදේශයේ ජනතාව ඔහුව ආමන්ත්‍රණය කරන විදියට “මහ ඇතා” මේ දවස් වල සැරි සරන්නේ අඹන්පොල ප්‍රදේශයේ වීම. කාවන්තිස්ස විතරක් නෙමෙයි තවත් විශාල අලි සහ ඇත්තු ප්‍රමාණයක් මේ දිනවන අඹන්පොල අවට සැරිසරනවා. ඒක නිසා මේ ඉලක්කගත ගම්මාන වල ජනතාව දැනුවත් කිරීම මගින් කාවන්තිස්සගේ පරපුර ආරක්ෂා කරගැනීම තමයි එක අරමුණක්. අනිත් හේතුව තමයි මේ ඇප් එක හදපු මූලිකයා විනුර මල්ලිගේ ගමත් අඹන්පොල වීම. ඒක නිසා ඇප් එක test කරන්න විනුරට පහසුවකුත් වෙනවා තමන්ගේ ගම අවට මිනිස්සු දෙතුන් සීයක් App එක පාවිච්චි කරන එක.

මේ සුවිශේෂී මෙහෙයුමට ඔබත් දායක වන්න!

සොබාදහමට ආදරය කරන, තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන, අලි ඇතුන්ට ආදර කරන, සමාජ සේවයට කැමති සහ මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වන ඔබ සැමට Elephant Journey Team එක ආරාධනා කරනවා මේ උත්සාහයට ශක්තියක් වෙන්න කියලා.

1. මේ පණිවිඩය Share කර අන් අය දැනුවත් කරන්න.

2. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔවුන්ට උදව් කරන්න.

3. ඔවුන්ට අවශ්‍ය වෙනත් සහයෝගයන් ලබා දෙන්න.

මේක ඇප් එකක් විතරක් නෙවෙයි. මේක මිනිසුන් සහ සොබාදහම අතර වඩාත් සුහද සම්බන්ධයක් ගොඩනැගීමේ ජාතික ක්‍රියාන්විතයක ආරම්භයක්. අලි – මිනිස් ගැටුම වෙනුවට, අලි – මිනිස් සහපැවැත්ම තහවුරු කරන්න පුළුවන් අනාගතවාදී විසඳුමක්. 

හරිනම් මේ වගේ ව්‍යාපෘති කරන්න ඕන රජය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. නමුත්, රටේ ප්‍රශ්න විසඳීමට තාක්ෂණය භාවිතා කිරීම අතින් රජය ඉන්නේ ගව් ගණනක් පසුපසින්. මේ Elephant Journey App එකම ඒකට හොඳ උදාහරණයක්. උසස් පෙළ සිසුන්ට තියෙන දැක්ම වත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියනවද කියන ප්‍රශ්නය කණගාටුවෙන් උනත් අහන්නම වෙනවා.

රජයට හෝ නිලධාරීන්ට චෝදනා කර කර ඉඳලා ඵලක් නොවන නිසා එන්න පොදු ජනතාව විදියට මේ වැඩේ කරන්න පුළුවන් තරුණ පිරිසට ජවයක් දෙන්න. 

Elephant Journey ඇප් එක අදම Download කරගෙන මේ ව්‍යාපාරයට ඔබත් එකතු වන්න. වැඩි විස්තර සඳහා: https://www.elephantjourney.info

සම්පාදනය: නිලක්ෂ රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *