පරිසර සංවිධාන සාකච්ඡාවකට කැඳවා පරිසර ඇමති, නියෝජ්‍ය ඇමති දෙපල පැන දුවයි!

භාතිය ඇතුට සිදු වූ අසාධාරණය පිළිබඳව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමභාවය පිළිබඳ පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින (28) සාකච්ඡාවකට පැමිණෙන ලෙස දන්වා පරිසර ඇමති ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි යන දෙපල වගකීම් විරහිත ආකාරයෙන් එම රැස්වීම මගහැර ගිය බව පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුව චෝදනා කරයි.

මේ ඒ පිළිබඳව ඔවුන් සමාජ ජාල වල තබා තිබූ සටහනකි.

අඹන්පොල ප්‍රදේශයේ ආබාධයකට ලක්ව සිටි භාතිය ඇතුගේ ප්‍රතිකාර පිළිබඳ දැක්වූ නොසැලකිල්ල සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පසුගිය ජූලි 17 වන දින පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට දී පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන් එක්ව සිදු කළ උද්ඝෝෂණයෙන් අනතුරුව ඉල්ලීම් 10කින් යුතු ලිපියක් පරිසර අමාත්‍යවරයා වෙත ලබා දෙන ලදි. එදිනද පරිසර අමාත්‍යවරයා පරිසර අමාත්‍යාංශයේ නොසිටි අතර එම ලිපිය භාරගත්තේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසිනි.

පසුගිය සිකුරාදා දින අප වෙත ලිපියක් යොමු කරමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින (28) පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකය පැමිණෙන ලෙස අප වෙත දන්වා සිටින ලද අතර පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන් ඒ සඳහා පරිසර අමාත්‍යාංශයට නියමිත වේලාවට යන ලදි. කෙසේ නමුත් පරිසර අමාත්‍යාංශයේ එවැනි රැස්වීමක් නොපවත්වන බවත්, එම රැස්වීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවත්වන බැවින් ලේකම් වරයා සහ අතිරේක ලේකම්වරුන් එහි ගිය බවත් අමාත්‍යවරයා ද එහි පැවැත්වෙන රැස්වීමට පැමිණෙන බවත් සොබාදම් පියසේ ආරක්ෂක නිලධාරීන් අප වෙත දැනුම් දුන් අතර, අප සියළු දෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත ගියහ.

එහි පැවැත්වූ සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතාත්, එම එමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනෙකු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් පැමිණ සිටි අතර අමාත්‍යවරයා වෙනුවෙන් පුටුවක්ද වෙන්කර තිබුණි.

ලේකම්වරයා විසින් රැස්වීම ආරම්භ කිරීමේදී අමාත්‍යවරයා පැමිණෙන්නේද යන්න අප විමසා සිටි අතර ඔහුගේ පිළිතුර වූයේ “ඇමතිතුමා තව ටිකකින් සහභාගී වෙයි.” යන පිළිතුරයි. කෙසේ නමුත් පැය දෙකකටත් අධික කාලයක් පැවති රැස්වීම සඳහා පරිසර ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා පොරොන්දු වූ පරිදි නොපැමිණි අතර අඩුම තරමේ පැමිණීමට නොහැකිවන බවට දැනුම් දීමක් හෝ සිදු නොකරන ලදි.

පරිසර ඇමති ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි යන ඇමතිවරුන්ගේ මෙම වගකීම් විරහිතභාවය අපි දැඩි ලෙස හෙළාදකින අතර ඔවුන් තම විෂය පිළිබඳව දක්වන උනන්දුවේ තරම අප හට මනාව පැහැදිලි විය.

කෙසේ වුවද මෙම හමුවේ දී භාතිය ඇතුට අත්වූ ඛේදනීය ඉරණම වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමභාවය ප්‍රශ්න කිරීමද, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීවාදය අවසන් කිරීම සහ එය නවීන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ අවධානය යොමු කරවීමද, මින් ඉදිරියට ආබාධිත හස්තීන්ට ප්‍රතිකාර කිරීමේදී රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සිදු කරමින් ක්‍රියාත්මක වීම සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) නිර්මාණය කොට ආයතනගත කිරීම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගවීම, නීත්‍යානුකූල සහ නීති විරෝධී ගිනි අවි නියාමනය, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතින් ආරක්ෂිත සත්වයින්ට හානි කිරීම සඳහා ගිනිඅවි භාවිතා කරන්නන්ට එරෙහිව පවතින නීතිමය රාමුව තුල තදින් ක්‍රියා කිරීම වැනි අප ඉදිරිපත් කළ ඉල්ලීම්වල ඇතුලත් කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

මීට අමතරව වනජීවී අපරාධ මැඩලීම පිළිබඳ තාක්ෂණය යොදා ගැනීම, අලි-දුම්රිය ගැටුම විසඳීම සඳහා තාක්ෂණික විසඳුම්, දැනට වැඩ නැවතී ඇති ගල්ගමුවේ වනජීවී උමං මාර්ගයේ වැඩ නිමකර ඒ ස්ථානය හරහා ගමන් කරන අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වනජීවී සං. දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රරප්පාඩු පිරවීම, එම නිලධාරීන්ට ආකර්ෂණීය වැටුප් සහ දීමනා ලබාදීම, විදෙස් පුහුණු අවස්ථා ලබාදීම, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පල්ලෙකන්දල් වන්දනාව නිසා සිදුවිය හැකි හානි, ගල්ගමුව පාලුකඩවල රක්ෂිත විනාශය සහ මහගල්ගමුව වැව් ඉස්මත්තේ රක්ෂිත විනාශ කිරීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා නිර්මාණය කර ඇති Elephant Journey ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වීමෙහි අවශ්‍යතාවය පිළිබඳවද අප විසින් ඉල්ලීම් රැසක් ඉදිරිපත් කරන ලදි.

  • පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුව

පහත දැක්වෙන්නේ එම සාකච්ඡාව කැඳවූ ලිපියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *