ඉවත් බවක් නැතිව වෙරළ තීරයේ ඛනිජ කැණීම් නිසා සංචාරක ව්‍යාපාරය වැනසෙයි ද?

හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ ගවේෂණය පිළිබඳ කැලඹීම: රක්ෂිත ප්‍රදේශ හතරක් අවදානමේ

ශ්‍රී ලංකාවේ දකුණු සහ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රදේශවල සිදුවෙමින් පවතින බැර ඛනිජ ගවේෂණ කටයුතු හේතුවෙන් පාරිසරික සංවිධාන දැඩි කලබලයට පත්ව සිටිති. විශේෂයෙන් හම්බන්තොට ආසන්නයේ පිහිටි සංවේදී වෙරළ ආරක්ෂිත ප්‍රදේශ හතරක් මෙම ඛනිජ ගවේෂණ කටයුතු හේතුවෙන් දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.


භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) විසින් බැර ඛනිජ ගවේෂණය සඳහා සමාගම් කිහිපයක් වෙත බලපත්‍ර නිකුත් කර ඇත. මෙම සමාගම්වලින් බහුතරයක් ඉන්දියානු සමාගම් බව පැවසේ.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙම ගවේෂණ කලාප පාරිසරික වශයෙන් අතිශයින් වැදගත් වන ආරක්ෂිත ප්‍රදේශ හතරක් සමඟ අතිච්ඡේදනය වීමයි. එම ආරක්ෂිත ප්‍රදේශ නම්:

  • කලමැටිය කුරුළු අභයභූමිය
  • උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය
  • ගොඩවාය අභයභූමිය
  • බුන්දල යුනෙස්කෝ මානව හා ජෛවගෝල රක්ෂිතය
බැර ඛනිජ ගවේශන බලපත්‍ර නිකුත් කර ඇතැයි පැවසෙන ස්ථාන සහ ඒ ආශ්‍රිත සංරක්ෂිත ප්‍රදේශ

කලමැටිය කුරුළු අභයභූමිය: ජෛව විවිධත්වයෙන් සපිරි පාරාදීසයක්

කලමැටිය අභයභූමිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි වැදගත් වෙරළබඩ තෙත්බිම් අභයභූමියකි. 1984 දී ස්ථාපිත කෙරුණු මෙම අභයභූමිය ශ්‍රී ලංකාවේ පැරණිතම පක්ෂි අභයභූමි අතරින් එකකි. මෙම ප්‍රදේශයේ පක්ෂි විශේෂ 150ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් 54ක් සංක්‍රමණික පක්ෂීන් වේ. උරග විශේෂ 38ක්, මත්ස්‍ය විශේෂ 41ක් සහ ක්ෂීරපායී විශේෂ 20ක් පමණ ද මෙහි වාර්තා වී ඇත.

උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය: පුරාවිද්‍යාත්මක සහ ජෛව විවිධත්ව වටිනාකම්

උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය 2010 වසරේදී පිහිටුවන ලද අතර, ජාතික වනෝද්‍යානයක් ලෙසත්, නම් කරන ලද පුරාවිද්‍යා ස්ථානයක් ලෙසත් පිළිගැනේ. මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ කැස්බෑ අභිජනන කලාපයටද අයත් වන අතර, එය “මිණිහ ගල් කන්ද” පුරාවිද්‍යා ස්ථානයට සමීපව පිහිටා ඇත.


ගොඩවාය අභයභූමිය: කැස්බෑවන්ගේ පාරාදීසය

2006 වසරේදී වනජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු ගොඩවාය ප්‍රමුඛ වශයෙන් මුහුදු කැස්බෑවන්ගේ බිත්තර දැමීමේ ස්ථානයක් ලෙස වැදගත් වේ. මෙම අභයභූමිය ලොව පුරා තර්ජනයට ලක් වූ මුහුදු කැස්බෑ විශේෂ පහකට (Hawksbill, Leatherback, Green, Loggerhead, and Olive Ridley turtles) නිවහන වන අතර, එය ලෙදර්බැක් කැස්බෑවන් සඳහා දිවයිනේ ඇති හොඳම බිත්තර දමන වෙරළ ලෙස සැලකේ.


බුන්දල ජාතික වනෝද්‍යානය: ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ තෙත්බිම

බුන්දල 1990/1991 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම රැම්සාර් තෙත්බිම බවට පත් විය. එම ප්‍රදේශය 2005 දී යුනෙස්කෝ ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ සිව්වන එවැනි රක්ෂිතය වේ. එය සංක්‍රමණික වෙරළබඩ පක්ෂීන් සඳහා වැදගත් ශීත සෘතු වාසස්ථානයක් සපයයි.


විවේචන සහ පරිසර සංවිධානවල අවධානය

පරිසර සංවිධාන GSMB ආයතනය සහ රජය විවේචනය කරමින් සිටින්නේ මෙවැනි සංවේදී ප්‍රදේශවල ඛනිජ ගවේෂණ කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පෙර නිසි පරිසර හානි ඇගයීමක් (Environmental Impact Assessment – EIA) සිදු නොකිරීම ගැනයි. පරිසර ක්‍රියාකාරීන්ගේ මතය අනුව, මේ වන විටත් තලෙයිමන්නාරම, පුත්තලම, කළුතර, මාතර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව් වැනි වෙරළබඩ දිස්ත්‍රික්ක සියල්ලකම පාහේ වෙරළ ආශ්‍රිත බැර ඛනිජ ගවේශනය සඳහා GSMB ආයතනය විසින් බලපත්‍ර නිකුත් කර හෝ නිකුත් කරමින් තිබේ.


විශේෂයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයන් සඳහා ඒකාබද්ධ උපායමාර්ගික පාරිසරික තක්සේරුවක් (Integrated Strategic Environmental Assessment – ISEA) සිදු කරන ලෙසයි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සියල්ල එක්විය යුතු බව ඔවුන්ගේ මතයයි.


සංචාරක කර්මාන්තයට ඇති තර්ජනය

පරිසර ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ මෙම සංවේදී ප්‍රදේශවල ඛනිජ ගවේෂණය සහ කැණීම් කටයුතු මගින් සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති වන බවයි. මෙම ප්‍රදේශ ජාත්‍යන්තර සංචාරකයින් අතර ප්‍රචලිත ස්ථාන වන අතර, ඒවායේ පාරිසරික සුන්දරත්වය විනාශ වීම මගින් සංචාරක ආකර්ෂණය අඩු වී රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති විය හැකිය.
වෙරළබඩ තීරය වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් රජයෙන් ඉල්ලා සිටින්නේ කලමැටිය, උස්සන්ගොඩ, ගොඩවාය සහ බූන්දල වැනි සංරක්ෂිත ප්‍රදේශ ඛනිජ ගවේෂණයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වහාම පියවර ගන්නා ලෙසයි.


“GSMB ආයතනයේ මෙම අදූරදර්ශී අත්තනෝමතික ක්‍රියාකලාපය මගින් නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වලපල්ලට යවනු ඇත. ඉවක් බවක් නොමැතිව සෑම තැනකම ඛනිජ ගවේශන බලපත්‍ර නිකුත් කිරීම වහා නතර නොකළහොත් ශ්‍රී ලංකාවේ අනාගතය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඛේදාන්තයකට තල්ලු කරනු නොඅනුමානය,” යනුවෙන් පරිසර සංවිධාන අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *