
රජවරුන්ගේ යුද්ධ, ජයග්රහණ හා පරාජයවීම් මැද කාන්තාවන්ට අත්වූ ඉරණම කෙසේ ද?
ඕෂධී ගමගේ, Times of Lanka
රාවණා යන නාමය ඇසූ පමණින් අපට සිතට නැගෙන්නේ ශ්රී ලාංකිකයන් ලෙස මහත් අභිමානයක්, තේජසක් මෙන්ම ගෞරවයක්. රාම රාවණා යුද්ධය සහ එය මුල් කොටගෙන ඇති වූ සිදුවීම් මාලාව අප අතර නිරන්තර කතා බහට ලක් වන්නක්. නමුත් මෙම කතාවේ ප්රධාන චරිතය හා සම්බන්ධ කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳ සැලකීමේදී මෙතෙක් අප අසා ඇති කතාවට වඩා වෙනස් ප්රශ්න රැසක් මතුවේ.
ඉතිහාසය යනු අප දන්නා සීමාවෙන් ඔබ්බට බොහෝ සෙයින් පැතිරී ඇති දෙයකි. ඇතැම් සිද්ධීන් පරස්පර විරෝධී සේම ඇතැම් සිද්ධීන් සත්ය කතාවට වඩා බෙහෙවින් වෙනස් වනවා වන්නටද පුළුවන්. එම නිසාමයි පාඨකයන් ලෙස අප දෙයක් විග්රහ කිරීමේදී මනා නුවණින් විමසා බැලීම සිදු කලයුතු වන්නේ. එහෙයින් රාවණා වීරයෙකුද, දුෂ්ටයෙකු ද යන විවාදයට එහා ගොස් ඔහුගේ කතාව තුළ කාන්තාවන්ට හිමි වූ ස්ථානය පිළිබඳ සලකා බැලීම වැදගත්ය. රාවණාගේ කතාව හා සබැඳි කාන්තාවන් කවුද? ඔවුන්ට තීරණ ගැනීමට තිබූ නිදහස කුමක්ද? ඔවුන්ගේ විරෝධය සහ දුක් වේදනාවලට සැලකිල්ලක් ලැබෙන්නට ඇතිද?
Times of Lanka උරුම ගවේෂණ ඔස්සේ අද අපි මේ ගැන සොයා බලමු.
මන්දෝදරී
“සක්වලින් පිට පවා රවූ දුන් අපේ ආදර අන්දරේ
ප්රේමයේ දෙවගන නුඹයි ගිරි මාළිගේ
මදාරා මල් අතර සැගවූ ප්රේම ආලක මණ්ඩපේ
මියෙන තුරු සොදුරුතම රතීගන
නුඹ තමා මන්දෝදරී…”
[ගායනය : චාමර කරුණානායක, කේතකී සුරවීර / පද රචනය: හංසි සඳමාලි]
රාවණ මන්දෝදරී ආදර අන්දරය විශ්වයේ සුපතල තවත් එක් සොඳුරුතම ආදරයක් ලෙසයි සැලකෙන්නේ. රාමායණයේ පංච කන්යාවියන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙන ‘මෘදු වූ උදරයක් ඇති කුමරිය’ යන අර්ථයෙන් යුත් මන්දෝදරිය ශ්රේෂ්ඨ රාවණ නිරිඳුගේ පෙම්බරියයි. ආදරණීය බිරිඳයි. ලංකාපුරයේ අගමෙහෙසියයි. පතිවෘතාවෙන් හෙබි ධර්මිෂ්ඨ කාන්තාවක් ලෙස සැලකෙන ඇයගේ නාමයේ ආනුභාවයෙන් පාපය දුරු වන බවට එකල හෙළ සමාජයෙහි විශ්වාසයක් පැවතිණි.

රජුගේ බිරිඳ වූ පමණින් ඇයට බලයක් තිබුණාද?
ඇයට රජුගේ ආදරය හිමි වුවද, තම ජීවිතය හෝ තම පවුලේ ඉරණම තීරණය කිරීමට නිදහස තිබුනේද?
වාල්මිකීගේ රාමායණයේ ඇතැම් නිරුපණයන්හිදී මන්දෝදරී රාවණාගේ ඇතැම් තීරණවලට එරෙහිව අවවාද කරන චරිතයක් ලෙස පෙනී සිටියි. රාම රාවණ යුද්ධයට තුඩු දුන් හේතුව වූයේ, රාම කුමරුගේ බිරිඳ වූ සීතා කුමරියව රාවණා විසින් පැහැර ගෙන පැමිණ හෙළ දීපයේ රඳවා ගෙන සිටීමයි. රාම රාවණ සමග යුද්ධ ප්රකාශ කිරීමෙන් පසුව සීතාව නැවත රාමාට භාරදෙන ලෙස, මන්දෝදරිය විසින් රාවණාගෙන් ඉල්ලීම් කර ඇත. ඇතැම් විට ඇයට අනාගත අසුභ නිමිත්තක ඉව දැනුනා වන්නටද පුළුවන. නමුත් එම ඉල්ලීම් හා අවවාද පිළිගැනීම හෝ නොපිළිගැනීම රාවණාගේ තීරණ මත රඳා පවතින්නට ඇත. ඒ අනුව බලය හිමි පුද්ගලයා අසල සිටියද, තම හඬට කන් නොදෙන විට කාන්තාවක් ලෙස ඇයට කෙතරම් අසරණකමක් දැනෙන්නට ඇත්ද?
යුද්ධය අවසන් වූයේ රාවණා පරාජයට පත් වෙමින්, ලංකාපුරයේ අගමෙහෙසියට තම ආදරයද අහිමි කරදෙමිනි. ඉන්පසු ජිවිතයේ ඇය කෙතරම් හුදකලා වන්නට ඇත්ද?
ඇය කෙතරම් හඬා වැළපෙන්නට ඇත්ද ?
ඔවුන්ගේ ප්රේමණීය මතකයන් සිහිපත් කරමින් ඇය මිය යන තුරුම දැඩි ශෝකයෙන් පසු වන්නට ඇත. කාන්තාවක ලෙස එවන් ඉරණමකට මුහුණ දීම කෙතරම් අපහසු වන්නට ඇත්ද? යුද්ධයේ ප්රතිඵලය විස්තර කිරීම මූලික කොටගත් කතාවක ඉතිරිවන පුද්ගලයන්ගේ ජීවිත තුළට ඉන් ඇති වූ බලපෑම පිළිබඳවත් අවධානයට ලක් විය යුතු නොවන්නේද?
සීතා
රාමායණයේ වඩාත්ම ප්රසිද්ධ කාන්තා චරිතය සීතායි. ඇය රාම කුමරුන්ගේ භාර්යාවයි. රාවණ පුරාවෘතයට අනුව ඇය ගැන නොයෙක් අදහස් සහ කතන්දර පවතී. රාමායණයේ සඳහන් පරිදි ඇය භු දේවියගේ දියණිය සහ ජනක රජුගේ හදාගත් දියණියයි. සීතා දේවියගෙන්, පතිවෘතාව හා ධෛර්යය පිළිඹිබු කරනා බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති. එසේම තවදුරටත්, ඇය ලක්ශ්මියගේ අවතාරයක් ලෙසින්ද හදුන්වයි.

තීරණ ගත්තේ ඇය වෙනුවෙන්ද ?
රාම රාවණ යුද්ධයට තුඩු දුන් හේතුව වූ සීතාව, රාවණා විසින් ලංකාවට රැගෙන යාම රාමායණ කතාවේ ප්රධාන සිදුවීමකි. එහෙත් මෙම සිදුවීම විමසා බැලිය යුත්තේ රාවණා සහ රාමා අතර ඇති වූ ගැටුමක් ලෙස පමණක් නොවේ. තමන්ගේ කැමැත්තට එරෙහිව තවත් කෙනෙකුගේ බලයට යටත් වීමට සිදුවන කාන්තාවකගේ නිදහස පිළිබඳ ප්රශ්නයක් ලෙසද මෙය දැකිය හැකිය.
සීතා, රාවණාගේ හා මන්දෝදරියගේ දියණියක බවටත්, ඔවුනට නිවුන් දරුවන් ලැබුණු බවටත්, රාවණාගේ පිය පාර්ශවයේ මුත්තණුවන් වූ පුලස්ති ඍශිතුමාගේ අනවැකියකට අනුව ඇයව සොහේළි ලෙස නම් කොට පැසක දමා පා කර හැරි බවටත් ජනශ්රුතියේ මෙන්ම අග්නිදිග ආසියාතික රටවල රාමායණ සම්ප්රදායේ සඳහන් වේ. සත්ය අසත්යතාවය කෙසේ වෙතත්, යම් හෙයකින් එය සත්යනම් සහ එය සීතාට දැනගන්නට ලැබුණි නම් ඇය කෙතරම් නම් දුකකට පත් වන්නට ඉඩ තිබුණිද? එසේම එය මන්දෝදරියට අදාළවද එසේම නොවන්නේද? මවකට තම දරුවා අහිමි වීම කෙතරම් නම් දුකක්ද?
සීතාගේ දුක්බර ජීවන අත්දැකීම් එතැනින් අවසන් නොවේ. රාවණා පරාජය කර ඇයව නැවත ලබාගත් පසුවත්, ඇගේ පතිවෘතාව පිළිබඳ සැකය දුරු කිරීමට අග්නි පරීක්ෂාවකට මුහුණ දීමට සිදු වූ බව රාමායණයේ සඳහන් වේ. එහිදී අවධානය යොමු කළ යුත්තේ ගින්න පිළිබඳ විස්මිත කතාවට පමණක් නොවේ. තමන්ගේ කැමැත්තට එරෙහි පැහැරගනු ලැබූ කාන්තාවකට, තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීමේ වගකීමත් පැවරීම තුළ ඇති අසාධාරණයයි.
තවත් වේදනාකාරී සිදුවීමක් වන්නේ සීතාගේ නැවත වනගත කිරීමයි. රාම රජු බවට පත් වීමෙන් පසුව, ජනතාව අතර පැතිරුණු සැක සහ විවේචන හමුවේ සීතා වනගත කිරීමට තීරණය කළ බව දැක්වේ. එම අවස්ථාවේ ඇය ගැබිනියකව සිට ඇති අතර පසුව වාල්මීකි ඍශිවරයාගේ ආශ්රමයේදී ලව සහ කුස යන නිවුන් පුතුන් බිහි කර ඇති දැඩි කරන ලද බව දැක්වේ. ඉන් වසර ගණනාවකට පසුව, තම පුතුන් උස් මහත් කිරීමෙන් අනතුරුව ඇය විසින් භූ දේවියට තමන්ව නැවත භාරගන්නා ලෙස ආයාචනා කරන අතර, ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙන් භූමිය විවර වී භූ දේවිය ඇයගේ තුරුළට සීතාව පිළිගත් බව සඳහන් වේ.
මෙහි ඇති ගැඹුරුතම ප්රශ්නය වන්නේ පාලකයෙකුගේ කීර්තිය සහ ජනතා මතය ආරක්ෂා කිරීම වෙනුවෙන් කාන්තාවකගේ ජීවිතය, ආරක්ෂාව සහ පවුලේ සම්බන්ධතා කැප කළ යුතුද යන්නයි. සීතා තම නිර්දෝෂිභාවය ඔප්පු කළත්, නැවතත් ඇයට එරෙහිව සැකය මතුවීමෙන් පෙනී යන්නේ කාන්තාවකගේ ගෞරවය තීරණය කොට ඇත්තේ සමාජය විසින් බවයි.
සීතාගේ පතිවෘතාවය ප්රශ්න කළ ලෝකයක, ඇයගේ වේදනාව ගැන ප්රශ්න කළේ කව්ද?
ඇයගේ නිර්දෝෂිභාවය නැවත නැවතත් ඔප්පු කිරීමට බල කෙරෙන ලෝකයක, ඇයගෙන් සමාව ඉල්ලා සිටියේ කවුද?
සූර්පනඛා
රාමායණයට අනුව සුපර්නඛා යන නම ඇසූ සැනින් මතකයට එන්නේ රාම සහ ලක්ෂ්මණ හමුවට එන, පසුව තම සහෝදරයා වූ රාවණා සහ රාමා අතර ප්රශ්නයට හේතු වූ කාන්තාවයි. සුපර්නඛා චරිතය මෙහිදී වැදගත් මානයක් එක් කරයි. රාමායණයට අනුව ඇයට වනාන්තරය තුළදී රාමා සහ ලක්ෂ්මණ මුණගැසුණු අවස්ථාවේ ඇය රාමා වෙත තම කැමැත්ත ප්රකාශ කොට තිබේ. එහිදී ඇය ප්රතික්ෂේප වූ අතර පසුව අපහාසයට සහ ශාරීරික හිංසනයට ලක්වේ.
මෙහිදී අප විමසා බැලිය යුතු වන්නේ සුපර්නඛාගේ සෑම ක්රියාවක්ම නිවැරදිද යන්න නොවේ. තම කැමැත්ත ප්රකාශ කළ කාන්තාවකට ප්රතිචාර දැක්වීමේදී අපහාසය හා හිංසනය යොදාගැනීම සාධාරණ කළ හැකිද යන්නයි.
කාන්තාවක් කැමැත්ත ප්රකාශ කරන විට ඇයව විනිශ්චය කරන සමාජය, පිරිමියෙකු එම කැමැත්ත ප්රතික්ෂේප කරන විට ඔහුගේ ක්රියාවන්ද ඒ හා සමානව ප්රශ්න කරන්නේද?
මෙහිදී තර්කනුකුලව අපට සිතිය හැකි පරිදි, සුපර්නඛා විසින් තම කැමැත්ත ප්රකාශ කළා නොව ඇය වෙත රාමා සහ ලක්ෂ්මණ ආකර්ෂණය වූවා වන්නටද පිළිවන. රාමායනයේ ඇය විරූපී කාන්තාවක ලෙස හැදින්වුවද හෙළ කාන්තාවක ලෙස ඇය ඇයටම අනන්ය වූ ස්වභාවික සුන්දරත්වයකින් පසුවන්නට ඇත. ඉදින්, එලෙස වූවා නම් ඇය අසාධාරණයකට ලක් වූවා නොවේද?
එසේ නම් ඇයට එරෙහිව සිදු වූ හිංසනය සාධාරණීකරණය කරන්නේ කෙසේද?

රාවණාගේ සහෝදරිය ලෙස පමණක් ඇයව හඳුනාගත යුතුද?
සුපර්නඛාගේ කතාවේ තවත් වැදගත් පැතිකඩක් වන්නේ ඇය බොහෝ විට රාවණාගේ සහෝදරිය ලෙසත්, රාම සහ රාවණා අතර ඇති වූ ගැටුමට හේතුවක් වූ චරිතයක් ලෙසත් හඳුන්වා දීමයි. ඇයගේම අත්දැකීම්වලට වඩා, ඇයගේ ක්රියාවන් පිරිමි චරිතවල කතාව ඉදිරියට ගෙන යාමට දායක වන ආකාරය කෙරෙහි අවධානය යොමු වේ.
ඇය මුහුණ දුන් සිදුවීමෙන් පසුව රාවණා සීතා පැහැරගෙන යාමට පෙළඹෙයි. ඇයට සිදු වූ දේ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවට, එම සිදුවීම තවත් කාන්තාවකගේ නිදහස අහිමි කරන ක්රියාවකට පසුබිම සකස් කරයි. මෙහිදී සුපර්නඛාට සිදු වූ අසාධාරණය සීතාට එරෙහිව සිදු වූ අසාධාරණය, සාධාරණීකරණය නොකරන බවත් පැහැදිලිව හඳුනාගත යුතුය.
මෙම චරිත දෙකේ කතා එකිනෙකට සම්බන්ධ වුවද, ඔවුන් දෙදෙනාම තමන්ගේම අත්දැකීම් සහ ඉරණම් සහිත කාන්තාවෝ වෙති. එක් කාන්තාවකට සිදු වූ වේදනාව තවත් කාන්තාවකගේ වේදනාවට හේතුවක් වන විට, අවසානයේ ජයග්රහණය කරන්නේ කාන්තාවන්ගේ නිදහසද, නැතහොත් පිරිමි චරිත අතර පවතින බල අරගලයද?
අවසානයේ ඉතිරි වූයේ කාගේ ජයග්රහණයද?
රාමායණය අවසානය, රාවණගේ පරාජය හා රාමාගේ ජයග්රහණය හා බැදී පවතී. එහෙත් යුද්ධයක ජයග්රාහකයා හා පරාජිතයා හදුනා ගැනීමෙන් පමණක් එහි සම්පූර්ණ මානුෂීය ප්රතිඵලය වටහාගත හැකිද?
මන්දෝදරියගේත්, සීතාවන්ගේත්, සුපර්නඛාගේ වුව ජීවිතයේ වෙනම පිටුවක් මේ සමඟින් පෙරලුනා නොවේද?
මෙය රාවණයන්ගේ සියලු ක්රියා සාධාරණීකරණය කිරීමක්වත්, රාමායණයේ සම්ප්රදායික අර්ථකතනයන් සම්පුර්ණයෙන්ම ප්රතික්ෂේප කිරීමක්වත් නොවේ. ඒ වෙනුවට වීරයන් සහ රජවරුන් කේන්ද්ර කරගෙන කියැවූ කතාවක් තුළ කාන්තාවන්ගේ අත්දැකීම්වලටද අවධානය යොමු කිරීමකි.
ඇතැම්විට මෙම කතාව නැවත කියවීමේදී අප විමසිය යුතු වැදගත්ම ප්රශ්නය මෙය විය හැක. රජවරුන්ගේ ජයග්රහණයන් සහ පරාජයන් ඉතිහාසයේ ලියැවෙන විට, එම තීරණවල ප්රතිඵල විඳි කාන්තාවන්ගේ හඬට කොපමණ ඉඩක් ලැබුනේද?