පොහොට්ටුවේ නාමයෝජනා බූරුවන්ගෙන් පිරෙව්වොත් අශ්වයින් වෙනම පෙරමුණකින්?

මේ වන විට ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙහිම නාමයෝජනා සඳහා අභ්‍යන්තර අර්බුද පැනනැගී තිබේ. දශක හතක් පුරා රට පාලනය කරමින් ජරා ජීර්ණ වූ ශ්‍රීලනිප සහ එජාප යන ප්‍රධාන පක්ෂ දෙකම පසුගිය වසර කිහිපය ඇතුළත දෙදරා ගිය අතර 2016 දී ශ්‍රීලනිපය දෙකඩ වූ අතර අද වනවිට එජාපය දෙකඩ වී ඇත.

කෙසේ නමුත් ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගැනීමත් සමඟ ඇතිවූ බල දේශපාලනික වාතාවරණය හමුවේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස දෙකඩ වී තිබූ ශ්‍රීලනිපය එළඹෙන මැතිවරණය සඳහා “ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය” ලෙස එක්ව තරඟ කිරීමට තීරණය කර තිබේ. තත්වය එසේ වුවද පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ඇතැම් නායකයින් විසින් ශ්‍රීලනිප පාර්ශවය නියෝජනය කරන හිටපු ජනපති සිරිසේන ප්‍රමුඛ පිරිස වෙත නිර්ධය විවේචනයන් දේශපාලන වේදිකාවේ එල්ල කරමින් සිටින අතර ජනපති සිරිසේනගේ ශ්‍රීලනිප නියෝජිතයින් සුක්ෂමව මනාප තරඟයෙන් පරාජය කරවීමට අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර පොදුජන පෙරමුණ තුලද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස සහ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ වියත්මග කණ්ඩායම අතරද ඉදිරි මහ මැතිවරණ නාමයෝජනා සඳහා ගැටුම් ඇතිවී තිබෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තමන්ට ගැලපෙන උගත් බුද්ධිමත් පිරිසක් මීළඟ පාර්ලිමේන්තුවට පත්විය යුතු බවට පවසා ඇති මුත් පොහොට්ටුවෙන් ඉදිරිපත් වීම සඳහා වියත්මග නියෝජනය කරමින් නාමයෝජනා ලැබීමට නියමිතව ඇත්තේ 8 දෙනෙකු පමණ ඉතාමත් සුළු පිරිසක් බවට අනාවරණය වේ. ඉතිරි සියලුම නාමයෝජනා ලැයිස්තු සැකසෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය අනුව බවත් පැවසේ.

මෙම තත්වය හමුවේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වියතුන් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ සෙනඟ රැස්කළ හැකි ප්‍රාදේශීය දේශපාලකයින් බවත් පොහොට්ටුවේ එස්. එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ වැනි දේශපාලකයින් මේ වන විටත් දේශපාලන රැස්වීම් වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී.

එමෙන්ම පොදුජන පෙරමුණේ සාමාජික අනෙකුත් කුඩා පක්ෂ සඳහා ද සීමිත නාමයෝජනා ප්‍රමාණයක් පමණක් ලබාදීමටත්, එම නාමයෝජනා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයින්ට පමණක් ලබාදෙන බවත්, ඉන් පිටත කිසිවෙකුට නාමයෝජනා ඉල්ලා නොසිටින ලෙසත් එම සුළු පක්ෂ නායකයින් වෙත දැනුම්දී තිබේ. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නන්ගේ පක්ෂ සඳහා මෙලෙස සීමා වැටී ඇති බවත් ඔවුන්ගේ පක්ෂ වලින් මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි විශාල පිරිසක් මේ හේතුව නිසා කළකිරීමට ලක්ව ඇති බවත් පැවසේ.

තවද, පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා විශාල වැඩකොටසක් ඉටු කළත් උන්වහන්සේට නාමයෝජනා ලබා නොදීම සඳහා තවත් කුමන්ත්‍රණයක් පොහොට්ටු ප්‍රබලයින් විසින් දියත්කොට ඇති බව සැලවේ. ඒ මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් විවිධ තරාතිරම් වල නායක හිමිවරුන් ලවා භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා නොදෙන ලෙස ප්‍රකාශ නිකුත් කරවීම මගින් විරෝධයක් නිර්මාණය කරවා පුජ්‍ය අතුරලියේ රතන හිමි, පුජ්‍ය බද්දේගම සමිත හිමි ඇතුළු පාලනය කරගැනීමට අපහසු භික්ෂු චරිත වලට නාමයෝජනා නොදී සිටීමට පසුබිමක් සකස් කිරීමයි.

සමස්තයක් ලෙස ගත්කළ පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවාගත හැකි වන පරිදි තම අණට හිතවත් එහෙයියන් පිරිසක් පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට යැවීමට නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ සිට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනී යයි.

කෙසේ වුවද ලැබෙන අළුත්ම ආරංචිමාර්ග වලට අනුව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් දියත්කර ඇති මෙම මෙහෙයුමට එරෙහිව ගෝඨාබය රාජපක්ෂ මහතා පිලිබඳ තවදුරටත් විශ්වාසය තබන ශ්‍රීලනිප කණ්ඩායම, වියත්මග කණ්ඩායම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පුජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ පිරිස නවතම පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

පොදුජන පෙරමුණු නාමයෝජනා ලැයිස්තු මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවයන් අනුව “බූරුවන්ගෙන්” පිරවුවහොත් ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස රට පාලනය කිරීමට සුදුසු උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා “අශ්වයින්ගෙන්” සමන්විත දැවැන්ත සන්ධානයක් තමන් මූලික වී බිහිකරන බවත්, ඒ සඳහා එක්වන ලෙස රටට ජාතියට හිතැති ඉහත විවිධ කණ්ඩායම් වලට ආරාධනා කරන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *