
සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම සහ අටුවා විග්රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීමේ චෝදනාවට ලක් වූ පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා හැරීමට එම නිකායේ උත්තරීතර උපරිමානුවිජ්ජක මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් භික්ෂුවක් ලෙස නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති සාමණේර සහ උපසම්පදා භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දීමට ද පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කතිකාවතේ දණ්ඩාගම පරිච්ඡේදයේ 152 වන කතිකාවේ iv හා vi වගන්ති ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇති බව අදාළ නිල ලේඛනයේ දැක්වේ. බෞද්ධයන්ගේ ශ්රද්ධාවත්, ආගමික භක්තිය හා නිකායේ ගෞරවයත් පිරිහෙන සේ කුල දූෂණයෙහි පාප සමාචාරයෙහි යෙදීමේ වරදට සඟරමෙන් නෙරපා දැමීම මෙන්ම, නිකායෙන් නෙරපීම, සම්භෝග තහනම සහ විනයානුකූල දඬුවම් නියම කිරීමේ බලය උත්තරීතර උපරිමාධිකරණය සතු වන බව එම වගන්ති මඟින් පෙන්වා දී ඇත.
නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදු කරන ලද විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති අතර, උන්වහන්සේට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනා මෙසේය:
- ථේරවාදී මූලධර්මවලට පටහැනි වීම: සාම්ප්‍රදායික ථේරවාදී ඉගැන්වීම් සහ අටුවා විග්රහයන්ට පටහැනි අදහස් සිය ධර්ම දේශනා සහ ප්‍රකාශන හරහා ප්‍රචාරය කිරීම.
- මූලික බෞද්ධ සංකල්පවලට නව්‍ය අර්ථකථන දීම: පුනර්භවය, කර්මය සහ පින වැනි බුදුදහමේ ප්‍රධාන සංකල්ප සම්බන්ධයෙන් නව්‍ය, දාර්ශනික හා විවේචනාත්මක අර්ථකථන සැපයීම.
- භෞතික විශ්ව විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම: පොළොවට යටින් අපායවල් සහ අහසේ දිව්‍ය ලෝක පිහිටා ඇති බවට වන සම්ප්‍රදායික විග්රහයන් බැහැර කිරීම.
- බුද්ධ චරිතයේ සිදුවීම් ප්‍රශ්න කිරීම: තථාගතයන් වහන්සේගේ ප්රාතිහාර්යයන් සහ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තාර්කිකව ප්‍රශ්න කිරීමට උත්සාහ කිරීම.
- සම්ප්‍රදායික චාරිත්‍ර විවේචනය: පාංශුකූලය වැනි සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර හා සංස්කෘතික අංග විවේචනය කිරීමෙන් සැදැහැවතුන්ගේ සාම්ප්‍රදායික ශ්‍රද්ධාව බිඳවැටීමට ලක්වන බවට සංඝ සභාව විසින් අවධාරණය කිරීම.
ආචාර්ය අතිපූජ්‍ය වල්බෝබොඩ ගුණසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් උත්තරීතර උපරිමානුවිජ්ජක මණ්ඩලයේ සභාපති, ලේඛකාධිකාරී ඇතුළු නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නියෝගය නිකුත් කර ඇත.