රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් CID අත්අඩංගුවට ගනී

2019 අප්‍රේල් 21 වන දින මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින (14) අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කරගෙන යන අඛණ්ඩ විමර්ශන ක්‍රියාවලිය ඔස්සේ අද දින (14), පුත්තලම ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල වී වසරක් ගතවීමට අසන්න මොහොතේ මෙම අත්තඩංගුවට ගැනීම සිදුවිය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ප්‍රමුඛ ත්‍රස්ත කල්ලියට විවිධ ආකාරයෙන් ආධාර අනුබල දුන් බවට රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රමුඛ දේශපාලඥයින් රැසකට විරුද්ධව ප්‍රභල චෝදනා රැසක් එල්ල විය. එලෙස එල්ල වූ චෝදනා 14ක් සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු කොට වගකිව යුත්තන් අත්තඩංගුවට ගන්නා ලෙස සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල අනන්දසාගර හිමි විසින් 2019.06.13 වෙනි දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ෂණ සිදුකරමින් සිටී.

රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් දේශපාලකයින්ට එරෙහිව විමර්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් පූජ්‍ය පාහියන්ගල අනන්දසාගර හිමි විසින් සිදුකළ පැමිණිල්ලේ තිබූ චෝදනා පහත දැක්වේ;

  1. 2019.04.21 දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත් කොලෝසස් ප‍්රයිවට් ලිමිටඞ් සමාගමට අයත්, එම බෝම්බ නිෂ්පාදනය කළා යැයි සැලකෙන වැල්ලම්පිටියේ පිහිටි ඔහුගේ කර්මාන්තශාලාවට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ අමාත්යංශයට අයත් කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා හිස් පතුරොම් කොපු සහ ට්‍රාන්ස්ෆෝමර් විශාල ප්‍රමාණයක් විධිමත් පටිපාටියට පටහැනිව සපයා ඇති බවට ප්‍රචාරය වන තොරතුරු සහ ඒ අනුව ඔහු ඍජුව හෝ වක්‍රව එකී ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දීම කර ඇත්දැයි විමර්ශනය කරන ලෙස.
  2. ඉහත පතුරම් කොපු සහ ට්‍රාන්ස්ෆෝමර් සපයා දීමේ දී ටෙන්ඩර් කටු පටිපාටියට පටහැනිව අක්‍රමිකතා සිදුව ඇත්දැයි විමර්ශනය කරන ලෙස.
  3. 2019.04.21 දින බෝම්බ ප්‍රහාරය මෙය වූ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ප්‍රධානීන් දෙදෙනෙකුට රිෂාඩ් බදුර්දීන්ගේ මස්සිනාට අයත් එඬේරමුල්ල පිහිටි නිවසක නවාතැන් දුන් බවට පවතින චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර එයට රිෂාඩ් බදුර්දීන්ගේ ඇති සම්බන්ධතාවය පිළිබඳ විමර්ශනය කරන ලෙස.
  4. රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයා මන්නාරම ප්‍රදේශයේ දී 2019.04.29 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විසින් GK 4520 අංක දරන ලෑන්ඩ් කෘෂර් රථය සමඟ අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී ඇති මුත් සුළු වේලාවක් ඇතුළත ඔහුව නිදහස් කර ගැනීමට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාව සිටියදී බලපෑම් කළ බවට ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කරන ලෙස.
  5. පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල කළ අතර එය වර්ෂ 2019.04.26 දින රාත්‍රී 06:55 දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය විය. එකී ප්‍රවෘත්තිය මගින් රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල කරන ලද අතර, එකී චෝදනා හා ඒ සම්බන්ධ පුද්ගලයින් යන තොරතුරු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර ඒ සඳහා රිෂාඩ් බදුර්දීන්ගේ සම්බන්ධතාව විමර්ශනය කරන ලෙස.
  6. රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ (ACMC) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන පුද්ගලයෙකු මන්නාරම ප්‍රදේශයේදී 2019 අප්‍රේල් 30 වන දින ඩෙටනේටර් හයක් සමග අත්තඩංගුවට පත්වූ බවට 2019.04.30 දින www.aruna.lk වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර ඒ සම්බන්ධව රිෂාඩ් බදුර්දීන්ගේ සහ ඔහුගේ පක්ෂයේ සම්බන්තතාවය පිලිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස. (http://www.aruna.lk/%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA/)
  7. 2019.04.21 දින shangri la හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ මාමණ්ඩිය සහ එදිනම දෙමටගොඩ මහවිල උද්‍යානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ෆාතිමා ඉල්හාම් නමැත්තියගේ පියා යැයි පැවසෙන අලවුදීන් නමැති ව්‍යාපාරිකයා රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන අහිල ඉලන්ගෙයි මහජන කොන්ග්‍රසය (ACMC) පක්ෂයේ භාණ්ඩාගාරික සහ උපදේශක වරයෙකු සිටි බවට වන චෝදනාව සම්බන්ධව සහ ඔවුනට රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ පවුල සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳවද, රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන අහිල ඉලන්ගෙයි මහජන කොන්ග්‍රසය (ACMC) නම් දේශපාලන පක්ෂය සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳවද විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස.
  8. 2019.04.21 දින කොළඹදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් යන පුද්ගලයින්ගේ පියා යැයි පැවසෙන යුසුෆ් ඊබ්‍රහිම් නමැති ව්‍යාපාරිකයා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයෙකුව සිටියදී ඔහුගේ අමාත්‍යංශයේ ඔහු සමඟ සමීපව රැස්වීම් වලට සහභාගී වී ඇති බවට චායාරූප සාක්ෂි පවතින අතර, එම යුසුෆ් ඊබ්‍රහිම් නමැති ව්‍යාපාරිකයා රිෂාඩ් බදුර්දීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහු යටතේ පැවති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශයේ සහ ඇමතිවරයාගේ අනුබලය සහිතව ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක නිරත වූ බවට ඇති චෝදනාව සහ රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉහත කී ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වූ සහ ආධාර අනුබල දුන් ඊබ්‍රහිම් පවුලේ පුද්ගලයින් සමඟ පවත්වා ඇති සාමාන්‍ය සහ ව්‍යාපාරික සම්බන්ධතා පිලිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස.
  9. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයෙකුව සිටියදී ඔහුගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක උපදේශකවරයෙකු වශයෙන් සිටි කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ මවුලවි වරයෙකු පොලිස් හා හමුදා ඇඳුම් තොගයක් සමඟ අත්තඩංගුවට පත්වීම පිළිබඳව සහ ඔහු සමඟ රිෂාඩ් බදුර්දීන්ගේ සම්බන්ධතා පිලිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස.
  10. 2019.04.21 දින කොළඹදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ බවට දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවකු පිළිබඳව යුද හමුදාපතිවරයාට දුරකතනයෙන් කතාකොට විමසීම් කළ බව යුධ හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කොට ඇති අතර ඒ පිළිබඳව සහ එලෙස යුධ හමුදාපතිවරයාට දුරකතනයෙක් කතා කොට බලපෑම් කළ බවට ඇති සැකය පිලිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස.
  11. 2019.04.21 දින කොළඹදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් සහ ඊට පෙර විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් සිදුකරන ලද මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වලට පහර දීම සහ ඒ හා සම්බන්ධ පරීක්ෂණ වලදී හෙළිදරව් වූ වනාතවිල්ලුව ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම වැනි ප්‍රචණ්ඩක්‍රියා සහ එවන් ක්‍රිය්වන්ට මැදිහත්වූ බවට සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයින් මුදා ගැනීම සඳහා ඉහල දේශපාලන බලපෑමක් මත ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කොට එයින් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු මුදාගත් බවටත්, එලෙස මුදාගත් පුද්ගලයෙකු 2019.04.21 දින කොළඹදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පැමිණ ඇති බවටත් 2019.04.22 දින පැවති රජයේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය එදින සිරස රුපවාහිනී නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශනය වූ අතර, එලෙස ත්‍රස්තවාදී සැකකරුවන් මුදාගත් ඉහළ දේශපාලන බලපෑම සිදුකළ පුද්ගලයා පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස.
  12. 2019.04.21 දින කොළඹදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට පෙර සහ පසු හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන පුද්ගලයින් විසින් සිදුකරන ලද ජාතිවාදී උසිගැන්වීම්, හැගීම් අවුස්සන අකාරයේ ප්‍රකාශයන් සහ ජනවර්ග හා ආගමික කණ්ඩායම් අතර අසමගිය ඇතිකරන ප්‍රකාශයන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඒ අනුව ඉහත කී පුද්ගලයින් ඍජුව හෝ වක්‍රව එකී ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දීම, ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීම සහ ජාතිවාදී උසිගැන්වීම්, හැගීම් ඇවිස්සීම සහ ජනවර්ග හා ආගමික කණ්ඩායම් අතර අසමගිය ඇති කරන ආකාරයෙන් ක්‍රියා කර ඇත්දැයි විමර්ශනය කරන ලෙස.
  13. 2019.04.21 දින කොළඹදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට පසුව ඇතිවූ ජනවාර්ගික ආතතියක් සහිත කාල වකවානුව තුල හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා, හිටපු අමාත්‍ය අබ්දුල් හලීම්, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මංගල සමරවීර යන පුද්ගලයින් විසින් විවිධ අවස්ථා වලදී සිදුකරන ලද ප්‍රකාශයන් මගින් ජනවාර්ගික ආතතිය උත්සන්න කිරීමට දායක වී ඇතිද යන්න පිළිබඳව සහ එම ප්‍රකාශ මගින් ඉහත කී පුද්ගලයින් ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීම, ජාතිවාදී උසිගැන්වීම්, හැගීම් ඇවිස්සීම සහ ජනවර්ග හා ආගමික කණ්ඩායම් අතර අසමගිය ඇති කරන ආකාරයෙන් ක්‍රියා කර ඇත්දැයි විමර්ශනය කරන ලෙස.
  14. 2019.04.21 දින කොළඹදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට පසුව ඇතිවූ ජනවාර්ගික ආතතියක් සහිත කාල වකවානුව තුල හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් 2019.06.07 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේදී සිදුකරන ලද “ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත්” යන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අනුව ජාතීන් අතර වෛරය පතුරුවන ප්‍රකාශයක් ද යන්න පිළිබඳවත්, එම ප්‍රකාශය මගින් ඔහු ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා සහ අනෙකුත් ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයෙන් ක්‍රියා කර ඇත්දැයි විමර්ශනය කරන ලෙස.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *