
දිනෙන් දින කොවිඩ්-19 වෛරසය පිළිබඳ ලොව පුරා පර්යේෂණ වලින් විවිධ සැඟවුණු කරුණු අනාවරණය වෙමින් පවතින අතර, දැන් අළුත්ම තත්වය වන්නේ, ඉක්වදෝරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින් කොවිඩ්-19 වෛරසය ගංගා ජලයේ ද පවතින බව සොයාගැනීමයි.
වර්තමාන COVID-19 වසංගතයේ මුල් දිනවල සිට, කොරෝනා වයිරස් (SARS-CoV-2) ආසාදිතයින්ගේ මළ මූත්‍රාවලින් සොයාගෙන තිබුණි. කොරෝනා රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් ඇති නගරවල අපජලය හා අපජල පවිත්‍රාගාරවල වෛරසය සොයාගත් බව ජාත්‍යන්තර පර්යේෂණ සනාථ කොට තිබුණි.
පර්යේෂකයෝ ඉක්වදෝරයේ කීටෝ අගනුවර හරහා ගලා යන රියෝ මහංගාරා (Rio Machángara) ගංගාවේ ස්ථාන තුනකින් ලබාගත් සාම්පල අනුසාරයෙන් පර්යේෂණාගාර වලදී කරන ලද රසායනික හා ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලින් කොරෝනාවෛරසය හෙවත් SARS-CoV-2 වෛරසය එම සාම්පල වල අන්තර්ගත වන බව සොයාගෙන ඇත.
ඒ පිලිබඳ නවතම පර්යේෂණ පත්‍රිකාව “SARS-CoV-2 in river water: Implications in low sanitation countries” නමින් දැන් ScienceDirect වෙබ් අඩවිය ඔස්සේ නිකුත්වී තිබේ.
ගංගා ජලයේ හමුවූ වෛරස නියැදි ප්‍රමාණය, කීටෝ නගරය ආශ්‍රිතව හමුවන කොවිඩ් වෛරස ආසාදිතයින් ප්‍රමාණයට සමානුපාත වන බවත්, විධිමත් අපජල බැහැරකිරීමේ පද්ධති වලින් තොරව අවිධිමත් අපජල බැහැරකිරීම නිසා කීටෝ ගංගාවට වෛරසය එක්වී ඇති බවත් පැවසේ.
අසාදිත අපිරිසිදු අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ගංගා ජලය හරහා වෛරසය පැතිරීමේ සැලකිය යුතු අවදානමක් මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරේ. එමෙන්ම, මෙලෙස පරිසරයට වෛරසය පැතිරීම හරහා වනජීවී හා කෘෂිකාර්මික පශු සම්පත් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකි බවද පර්යේෂකයින් පවසයි.
විධිමත් අපජල පරිවහන පද්ධිති නොමැති, සංවර්ධනය වෙමින් පවතින රටවල අපජලය හරහා කොවිඩ්-19 වසංගතය පැතිරීමට වැඩි අවධානමක් ඇති බවත්, කොරෝනවෛරසය පිලිබඳ තවමත් අනාවරණය නොවූ බොහෝ විද්‍යාත්මක කරුණු රැසක් පවතින බවත් මෙම පර්යේෂණයෙන් පැහැදිළි වේ.
