හම්බන්තොට මහා වන විනාශයකට ඉඩ දෙමින් ජාත්‍යන්තර වනාන්තර දිනය සමරන ශ්‍රී ලංකාව

අද (මාර්තු 21) ලෝකවාසීන් ජාත්‍යන්තර වනාන්තර දිනය (2026) සමරමින් සිටී. “වනාන්තර සහ ආර්ථිකය” යන තේමාව යටතේ ලෝකයම ගස් රකින්නට කතා කරද්දී, අපේ රටේ ඊනියා ‘හරිත බලශක්තියේ’ නාමයෙන් හම්බන්තොට වන ගහනය රුදුරු ලෙස ඩෝසර් වෙමින් පවතී. අතීතයේ ‘වාරි ශිෂ්ටාචාරයක්’ ලෙස වැවයි දාගැබයි සංකල්පයෙන් ගස් වැල් සුරකිමින් ජලය කළමනාකරණය කළ ශ්‍රී ලංකාව, අද වන විට බලශක්ති ප්‍රතිපත්තිය සහ පාරිසරික යථාර්ථය අතර බිහිසුණු අගාධයකට ඇද වැටී ඇත. නිවසේ වහලය මත සවි කරන පරිසර හිතකාමී කුඩා සූර්ය පැනලයට (Rooftop Solar) කුඩම්මාගේ සැලකිලි දක්වන රජය, මහා පරිමාණ වාණිජ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය (MER) බහුජාතික සහ දේශීය සමාගම්වලට ලියා දෙමින් සිටී.

මේ වන විනාශය අලි-මිනිස් ගැටුම උත්සන්න කර, දකුණේ ගොවිබිම් වියළි කාන්තාර බවට පත් කරමින් තිබේ. හරිත බලශක්තිය මුවාවෙන් සිදුවන මේ මහා පාරිසරික සංහාරයේ සැබෑ ප්‍රතිලාභීන් කවුරුන්ද? පරිසරය සුරකිනවා යැයි කියමින් ගස් කපා දමා සූර්ය කෝෂ හිටවන මේ ව්‍යාජ ‘හරිත’ නාඩගමේ ඔබ නොදන්නා අඳුරු සත්‍යය මෙයයි.

ජාතික වන සම්පතේ මළගම

හම්බන්තොට කැලෑ වනසන සූර්යබල ඛේදවාචකය තේරුම් ගැනීමට පෙර, අපේ රටේ සමස්ත වන ගහනයට අත්ව ඇති ඉරණම දෙස බැලිය යුතුය. 1920 ගණන්වලදී 49% ක්ව පැවති ශ්‍රී ලංකාවේ වන වැස්ම, 2017 වන විට 29.7% දක්වා පහත වැටිණි. එහෙත් සැබෑ ඛේදවාචකය ඇරඹෙන්නේ ඉන් පසුවය.

  • හෙක්ටයාර 234,000 ක විනාශය: 2001 සිට 2024 දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලංකාවට හෙක්ටයාර 234,000 ක ගස් ආවරණයක් අහිමි වී ඇත. මෙය සමස්ත හම්බන්තොට දිස්ත්‍රික්කයේම භූමි ප්‍රමාණයට සමානය!
  • කාබන් විමෝචනයේ උත්ප්‍රාසය: 2024 වසරේදී පමණක් ස්වභාවික වනාන්තර විනාශය හේතුවෙන් වායුගෝලයට මුදා හැර ඇති කාබන් ප්‍රමාණය ටොන් මිලියන 4.4 කි. අඩු කාබන් බලශක්තියක් (Low-carbon energy) නිපදවීමට යැයි කියමින් කාබන් උරාබොන වනාන්තර විනාශ කිරීම තරම් විහිළුවක් තවත් ඇත්ද?

ගෘහස්ථ සූර්යබල ව්‍යාපෘති පැනල මරා දැමීමේ කුමන්ත්‍රණය

හම්බන්තොටට අද අත්ව ඇති ඉරණම හුදෙක් අහඹුවක් නොව, එය රජයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සහාය ඇතිව දියත් වූ ප්‍රතිපත්තිමය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. වසර ගණනාවක් තිස්සේ “Net++” සහ “Net Accounting” වැනි ක්‍රමවේද ඔස්සේ ගෘහස්ථ සූර්ය පැනල (Decentralized solar) දිරිමත් කළ ශ්‍රී ලංකාව, 2025 ජූනි මාසයේදී කැබිනට් මණ්ඩලය හරහා ගෙන ආ නව ගාස්තු සංශෝධනයක් මගින් කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ ආර්ථික කොඳු නාරටිය බිඳ දැමුවේය.

  • ගාස්තු කප්පාදුව: කිලෝවොට් 5 ට අඩු ගෘහස්ථ පද්ධති සඳහා ඒකකයකට රු. 27.60 ක්ව පැවති ගෙවීම රු. 20.90 දක්වාත්, මෙගාවොට් 1 ට වැඩි විශාල වහල මත සවිකරන පද්ධති සඳහා රු. 14.46 දක්වාත් දුරදක්නා නුවනකින් තොරව ගාස්තු කප්පාදු කෙරිණි.
  • මහා පරිමාණ සමාගම්වලට වරප්‍රසාද: එහෙත්, කැලෑ කපා බිම සවිකරන (Ground-mounted) මෙගාවොට් 10 ට අඩු මහා පරිමාණ ව්‍යාපෘති සඳහා රු. 17.62 ක ආකර්ශනීය මිලක් ලබා දීමට රජය කටයුතු කළේය.

වහල මත සූර්යබල ව්‍යපෘති සඳහා “විදුලි ජාලයේ ධාරිතාවය මදි” (Grid constraints) යන්න විදුලිබල මණ්ඩලයේ නිත්‍ය නිදහසට කරුණ වුවද, විදුලිය බෙදාහැරීමේ ජාලය නවීකරණය කිරීමට, සුහුරු මනු (Smart Metering) භාවිතය මගින් ඉල්ලුම සැපයුම කළමනාකරණය, බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) වැනි නවීන තාක්ෂණයන් හඳුන්වා දීමට ඔවුන්ට කිසිදු වුවමනාවක් නැත. එහි ප්‍රතිඵලය ලෙස රැකියා දසදහස් ගණනක් උත්පාදනය කළ දේශීය සූර්ය බලශක්ති සමාගම් 700 කට වැඩි ප්‍රමාණයක් අද බංකොලොත් වී ඇත. ඔවුන්ගේ මළකඳන් මතින් මහා පරිමාණ සූර්ය මාෆියාව හම්බන්තොට වනාන්තර ආක්‍රමණය කරමින් සිටී.

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය (MER) වැනසීම සහ නියාමන මගඩි

වසර දහයකට අධික කාලයක් ප්‍රදේශයේ ගොවීන් කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස 2021 අප්‍රේල් මාසයේදී හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය (MER) ගැසට් කරනු ලැබුවේ, අලි-මිනිස් ගැටුම සමනය කිරීමේ අරමුණෙනි. එහෙත් අද වන විට, පරිසරවේදී සජීව චාමිකර ඇතුළු පාර්ශ්වයන් පෙන්වා දෙන පරිදි, ජාතික පාරිසරික පනත ද අමු අමුවේ උල්ලංඝනය කරමින් රක්ෂිතයේ අක්කර 1,000 කට අධික ප්‍රමාණයක් සූර්ය ව්‍යාපෘති සඳහා එළිපෙහෙළි කර හමාරය.

සිනුක්කුගල, ඔරුකැන්ගල, සහ කපාපුවැව වැනි ප්‍රදේශවල අඩි 20 කට වඩා උස ගස් බුල්ඩෝසර් කර ගිනි තබා ඇත්තේ අලින්ගේ ප්‍රධාන ආහාර සහ වාසස්ථාන මුළුමනින්ම වනසා දමමිනි.

මෙම විනාශයේ කේන්ද්‍රය වන්නේ ඩොලර් මිලියන 150 ක් වටිනා මෙගාවොට් 150 ක දැවැන්ත සූර්ය බලශක්ති උද්‍යානයයි. සමාගම් 17 කින් යුත් කන්සෝටියමයක් (Consortium) මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති නීතිමය මගඩිය ඔබ දන්නවාද? පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) වාර්තාවක් මගහැරීම සඳහා, ඔවුන් මෙම දැවැන්ත ව්‍යාපෘතිය මෙගාවොට් 10 බැගින් වූ කුඩා ඒකක (Sub-units) ලෙස නීතියේ හිඩැස්වලින් රිංගවා ඇත.

තවද, මෙම කැලෑ කැපීමට නීත්‍යානුකූල මුහුණුවරක් දීම සඳහා “විදුලි වැටවල් ඉදිකිරීමේ මූල්‍ය ආධාර” යන නාමයෙන් රුපියල් මිලියන 14.2 ක අල්ලස් මුදලක් රාජ්‍ය ආයතන වෙත ගෙවා ඇති බවට ද බරපතල චෝදනා එල්ල වී තිබේ. එයට අමතරව තවත් රුපියල් මිලියන ගණනක් දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ සාක්කු වලට නොගියේ යැයි පැවසිය හැකිද?

ලේ වැකුණු සූර්යබල ව්‍යාපෘති විසින් ජනිත කරන අලි – මිනිස් ගැටුම

මෙම පාරිසරික ඝාතනයේ ක්ෂණික සහ ලේවැකි ප්‍රතිඵලය වන්නේ උත්සන්න වූ අලි-මිනිස් ගැටුමයි. සියවස් ගණනාවක් තිස්සේ අලි ඇතුන් ගමන් කළ සාම්ප්‍රදායික කොරිඩෝව හරහා දැන් ඇත්තේ සූර්ය පැනල සහ විදුලි වැටවල්ය.

  • 2025 වාර්තාගත මරණ: පසුගිය වසරේ (2025) පමණක් ශ්‍රී ලංකාව පුරා අලි ඇතුන් 438 ක් සහ මිනිසුන් 158 ක් මිය ගියහ. අලි මරණවලින් 76 ක් වෙඩි තැබීම් ද, 62 ක් විදුලිසැර වැදීම් ද, 53 ක් හක්කපටස් හේතුවෙන් ද සිදුවී ඇත.
  • 2026 ඛේදවාචකය: 2026 වසරේ මුල් මාස දෙක ඇතුළත පමණක් හම්බන්තොට සහ සූරියවැව ප්‍රදේශවලින් මිනිස් මරණ 4 ක් වාර්තා වූ අතර අලි ඇතුන් 8 දෙනෙකු කෲර ලෙස ඝාතනය වී ඇත.

පිරිමි අලි 60 කට ආසන්න ප්‍රමාණයක් දැන් කුඩා වන ලැහැබ් තුළ සිරවී සිටිති. කෑම බීම අහිමි වූ ඔවුහු ගම් වදිති. බලධාරීන් ඊට දෙන එකම විසඳුම “අලි එළවීමේ” (Elephant drives) මෙහෙයුම් වුවද, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු වැනි සංරක්ෂණවේදීන් පෙන්වා දෙන්නේ එය යල්පැනගිය, අමානුෂික සහ අසාර්ථක ක්‍රමයක් බවයි. විදුලි වැටවල් අද්දර ඔබමොබ ගොස් කුසගින්නේ මියයන අලි ඇතුන්ගේ ශාපය මේ සූර්ය ව්‍යාපෘතිවලට වැදිය යුතුය!

දිය බිඳක් නැති දකුණ: නියඟය සහ ජෛව විවිධත්වයේ අවසානය

හම්බන්තොට වනාන්තර එළිපෙහෙළි කිරීම යනු හුදෙක් ගස් කැපීමක් නොවේ; එය සමස්ත ජල චක්‍රයේම අවසානයයි. බැර යන්ත්‍රෝපකරණ යොදා භූමිය එළි කිරීම නිසා පස තද වී, භූගත ජලයට එකතු වන ජල ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටී ඇත. Standardized Precipitation Evaporation Index (SPEI) දත්ත වලට අනුව වියළි කලාපයේ වෘක්ෂලතාදියෙන් 40% ක්ම දැන් නියඟයේ ගොදුරු බවට පත්ව ඇත. ගස්වල සෙවණ අහිමි වීමෙන් පසේ උෂ්ණත්වය ඉහළ ගොස් දකුණේ පොළොව කාන්තාරයක් වෙමින් පවතී.

මයුරපුර සහ ගොන්නෝරුව ප්‍රදේශවල ජීවත් වන සුළු පරිමාණ ගොවි පවුල් 5,000 කට අධික ප්‍රමාණයක් අද තම ගොවිබිම් අතහැර යමින් සිටිති. එක් පසෙකින් ජල හිඟය, අනෙක් පසින් වන අලින්ගේ තර්ජනය. මෙය තත්වය පරිසරවේදීන් විසින් හඳුන්වන්නේ “හරිත විරුද්ධාභාසය” (Green Paradox) යනුවෙනි. ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීමට යැයි ගෙන ආ සූර්ය බලශක්තිය, දේශීය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වනසා ඔවුන් අන්ත දරිද්‍රතාවයට ඇද දමා ඇත.

එපමණක්ද නොවේ, ශ්‍රී ලංකාව යනු ගෝලීය ජෛව විවිධත්ව උණුසුම් කලාපයකි (Biodiversity hotspot). මෙම වියළි කලාපීය වනාන්තර තුළ වෙසෙන සිය දහස් ගණනක් වූ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සහ ශාක වල පැවැත්ම තර්ජනයට ලක් වී ඇත. වනාන්තර කැබලි වීම නිසා (Fragmentation) ඔවුන්ගේ ජානමය හුදකලාවීමක් සිදුවී ඇති අතර, පලු සහ වීර වැනි දේශීය ශාක වෙනුවට, කිසිදු පාරිසරික වටිනාකමක් නැති ‘හවරිය නුග’ (Alstonia macrophylla) වැනි ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වෙමින් පවතී. අප මේ අහිමි කරගනිමින් සිටින්නේ ලොව කොතැනකවත් නැති අපේම වූ ස්වාභාවික උරුමයයි.

වල්සපුගල නඩුව සහ නීතියේ පිළිසරණ

මෙම පාරිසරික අරාජිකත්වය හමුවේ සිවිල් සමාජය නිහඬව සිටියේ නැත. පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් 2024 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම (SC FR 301/2024 – Walsapugala Case) අපට ඉතිරිව ඇති එකම බලාපොරොත්තුවයි. රජය විසින් හම්බන්තොට රක්ෂිතය ආරක්ෂා නොකිරීම මගින් පුරවැසියන්ගේ සමානාත්මතාවයට ඇති අයිතිය (12(1) වගන්තිය) සහ නීත්‍යානුකූල රැකියාවක නිරත වීමේ අයිතිය (14(1)(g) වගන්තිය) කඩ වී ඇති බව එහි පැහැදිලිව සඳහන් වේ. විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව 2025 ජූලි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුව සේම, හම්බන්තොට අලිමංකඩ වෙනුවෙන් ද සාධාරණය ඉටුවනු ඇතැයි ජාතියම බලාපොරොත්තු වෙයි.

අපට අවශ්‍ය කැලෑ වනසන පුනර්ජනනීය විදුලියක්ද?

හෙටට යෙදෙන ජාත්‍යන්තර වනාන්තර දිනය අපට ලබා දෙන පණිවිඩය ඉතා පැහැදිලිය. කැලෑ යනු සංවර්ධනය වන තුරු බලා සිටින “හිස් ඉඩම්” නොවේ. ඒවා අපේ ආර්ථිකයේ අඩිතාලම සහ දේශගුණයේ මුරදේවතාවුන්ය. ජලය රඳවා ගැනීම සහ කාබන් උරාගැනීම වැනි මෙම වනාන්තර සපයන පාරිසරික සේවාවන්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන ගණනකි.

ශ්‍රී ලංකා රජය වහාම සිය අමනෝඥ බලශක්ති සහ ඉඩම් ප්‍රතිපත්තිය ගැන නැවත සිතා බැලිය යුතුය. කැලෑ කපනවා වෙනුවට, නාගරික සහ කාර්මික කලාපවල ඇති මිලියන ගණනක් වූ නිවාස සහ කර්මාන්තශාලා වහළ මත සූර්ය පැනල සවි කිරීම දිරිමත් කරන සූර්ය බල සංහ්‍රාමය වනි ව්‍යාපෘති යළි ස්ථාපිත කළ යුතුය. වගාබිම් වලට ඉහළින් සූර්ය පැනල සවි කරන “Agrivoltaics” වැනි නවීන ක්‍රමවේද කරා අප යා යුතුය. හම්බන්තොට MER වහාම පූජනීය පාරිසරික කලාපයක් ලෙස සුරක්ෂිත කළ යුතු අතර, පරිසර වාර්තා මගහරින මහා පරිමාණ ව්‍යාපෘති වහාම නතර කළ යුතුය.

අප හමුවේ ඇති අභියෝගය බලශක්තිය ද පරිසරය ද යන්න තෝරාගැනීම නොවේ; කාර්මිකකරණයෙන් දූෂිත වූ අඳුරු අනාගතයක් ද, නැතහොත් සොබාදහම සමග බද්ධ වූ ඒකාබද්ධ තිරසාර අනාගතයක් ද යන්න තීරණය කිරීමයි.

අවසාන වශයෙන් පාලකයින්ගෙන් මෙන්ම ජනතාවගෙනුත් අප ඇසිය යුතු එක් ප්‍රශ්නයක් ඇත: ඔබේ නිවසේ වහලය මත සූර්යබල ව්‍යාපෘතියට නොදුන් සාධාරණය, අලි-ඇතුන්ගේ නිජබිම් වනසන හම්බන්තොට වන රක්ෂිත ඩෝසර් කරමින් මහා පරිමාණ සමාගම්වලට ලබාදීම ජාතික අපරාධයක් නොවන්නේද? අපේ ස්වාභාවික උරුමය වනසා ලබාගන්නා මේ ‘පුනර්ජනනීය විදුලියෙන්’ අපගේ නිවස ආලෝකමත් වුවද අපේ හෘද සාක්ෂිය ආලෝකමත් නොවන බව පමණක් තරයේ මතක තබා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *