අර්නබ් සුළි කුණාටුවේ බලපෑම තවදුරටත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව අවට වායු ගෝලයේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඕෂධී ගමගේ, Times of Lanka 

බෙංගාල බොක්කේ නැගෙනනහිර – මධ්‍යම හා ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී. පීඩන අවපාතය බටහිර දෙසට ගමන් කර ඇති අතර, උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි. මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. අද දින (26) නැගෙනහිර – මධ්‍යම හා ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවත් ඉන්පසු එය බටහිරට දෙසට බරව වයඹ දෙසට ගමන් කර, හෙට දිනයේදී (27) පෙ.ව.5.30 ට පමණ බෙංගාල බොක්කේ බටහිර – මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මෙම පද්තිධය මගින් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් නොමැති වුවද පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරයි. 

උතුර, බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ, මධ්‍යම හා උතුරු මැද පළාත් වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල 100 මි.මී. ඉක්ම වූ තද වැසිද ඇතිවිය හැකියි. ඌව පළාත, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුර, උතුරුමැද, වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රක්කවලත් විටින් විට පැ.කි.මී.40 පමණ වූ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටියි.

මෙම සුළි කුණාටුව අර්නබ් (Arnab) ලෙස නම්කොට ඇති අතර ඉන්දියාවේ ශ්‍රී විජයපුරම් අන්දමන් දූපත්වල සිට කි.මී. 590 ඈතින් පවතිමින්, අද රාත්‍රියේ හා හෙට දිනයේ දී  ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් අජිත් විජේමාන්න මහතා මාධ්‍යට වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ. 

අයහපත් පරිසර තත්වය හමුවේ පීඩාවකට ලක්විය හැකි ජනතාව වෙනුවෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක බවත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහයෝගයද ඇතිව ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවේ උපකරණද ඒ වෙනුවෙන් සුදානම් බවත්, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක/ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර සිටීයි. 

අහිතකර කාලගුණ තත්ත්වය හා නායයාම් ලක්ෂණ පිලිබඳ විමසිලිමත් වෙමින්, මාර්ග භාවිතයේදී වැඩි අවධානයෙන් පසු විය යුතු බවටත් ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.

වැසි සමග ඇතිවන තද සුළං හා අකුණු පිළිබඳ අවධානයෙන් පසුවෙමින් තම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා අපි සිටිමු . 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *