ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත (PSTA) අවභාවිත නොකරන ලෙස අන්තරය ආණ්ඩුවට බලකරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් ගෙන එන නව පනත් කෙටුම්පත (PSTA) ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන හෝ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදා නොගත යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලය (අන්තරය) අවධාරණය කරයි.

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් මෙම පනත ගෙන එන බව ප්‍රකාශ කළද, පවතින ආයතන පද්ධතිය සහ දේශපාලන නායකත්වයන් කෙරෙහි මහජනතාවට නිසි විශ්වාසයක් නොමැති බව ශිෂ්‍ය නියෝජිතයෝ පෙන්වා දෙති. පසුගිය කාලයේ ශිෂ්‍ය නායකයන් ඇතුළු පිරිස් රඳවා තබා ගැනීමට මෙවැනි පනත් භාවිත කළ ආකාරයද ඔවුන් සිහිපත් කරන ලදි.

ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළ නීති පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නොමැති වුවද, රට තුළ පවතින ආයතනික පද්ධතියේ පවතින ගැටලු හමුවේ මෙවැනි නීති මොන ආකාරයෙන් භාවිත කරන්නේද යන්න පිළිබඳව බරපතල ගැටලුවක් පවතින බව ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කරති.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තුළ ත්‍රස්තවාදියා යන්න නිසි ලෙස නිර්වචනය කර නොතිබුණද, නව පනත මගින් එය නිර්වචනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරා ඇති බව සඳහන් කළ ශිෂ්‍ය නියෝජිතයෝ, මහජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දෙති.

මෙම පනත ජනතාවගේ සුබසිද්ධියට පිටුපා ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන හෝ දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කිරීමට යොදා ගතහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අන්තරය වැඩිදුරටත් කියා සිටියේය.

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සමඟ බත්තරමුල්ල මග නැගුම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම අදහස් පළ කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *