ශ්‍රී ලංකාවේ දෙවිවරුන් සහ යක්ෂයන්: ඓතිහාසික මූලයන් සහ ජන විඥානය

මෙරට ජනප්‍රිය ගීතයකින් යළිත් කතාබහට ලක් වූ වජ්‍රපාණි, උප්පලවන්න, පර්ජන්‍ය සහ වෙසමුණි යන දේව හා යක්ෂ සංකල්පයන්හි ඓතිහාසික හා සංස්කෘතික පසුබිම පිළිබඳ කෙටි විමර්ශනයක්.

අමා එච්. වන්නිආරච්චි, Times of Lanka 

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ එක්තරා ගීතයක් තියෙනවා. ඒ ඔස්සේ අපට නිතර දෙවෙලේ ඇහෙන්නට ලැබෙන දෙවිවරුන් සහ යක්ෂයන් හතර දෙනෙක් ඉන්නවා. ඒ සිවු දෙනා බෞද්ධ සංස්කෘතියේ කියැවෙන ජනප්‍රිය දෙවිවරුන් සිවු දෙනෙක්. අද Times of Lanka හි අපි කෙටි විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන යක්ෂයන් සහ දෙවිවරුන් හතර දෙනා අපේ සාම්ප්‍රදායික සංස්කෘතියේ සහ අපේ ඉතිහාසයේ අපට කොයිතරම් නම් සමීපද යන්න කියලයි. 

මෙහි කියවෙන වජ්‍රපාණි යක්ෂයා, උප්පලවන්න දෙවියන්, පර්ජන්‍ය හෙවත් පජ්ජුන්‍ය දෙවියන් සහ වෙසමුණි හෙවත් වෛශ්‍යවන යක්ෂයා යන සතර දෙනා සිංහල බෞද්ධ සංස්කෘතියට අලුත් හෝ නුහුරු හෝ දෙවිවරුන් නොවේ. මොවුන් බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම දේශීය සිංහල ජන ඇදහිලි විශ්වාස තුළත් අතීතයේ ජනප්‍රිය වුවන්ය.

වජ්‍රපාණි 

වජ්‍රපාණි මහායානයේ එන බෝධිසත්ත්වරයෙකි. විද්වතුන්ට අනුව වජ්‍රපාණි යනු මහායානයේ සඳහන් වෙන බොහෝ බෝධිසත්ත්වයන් අතරින් පැරණිම අයෙකි. වජ්‍රය හෙවත් අකුණු සැරය අතින් ගත් තැනැත්තා යන අරුත ඔහුගේ නමේ ඇත. මහායාන බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව, වජ්‍රපාණි ගෞතම බුදුන් වහන්සේගේ ආරක්ෂකයෙකි. වජ්‍රය අතැති මොහු, චණ්ඩ වේශයකින් මනු ලොවට විත් ගෞතම බුදුන් වහන්සේට හතුරුකම් කරනවුන්හට දඬුවම් පමුණුවයි. බෝධිසත්ත්වරයෙකු ලෙස මෙන්ම විටෙක චණ්ඩ යක්ෂයෙකු ලෙසද විග්‍රහ කෙරෙන වජ්‍රපාණි, ගන්ධාර බෞද්ධ ප්‍රතිමා කලාව තුළදී හර්කියුලස් හෝ හේරක්ලස් නමැති ග්‍රීක වීරයාගේ ප්‍රතිරූපයෙන්ද විග්‍රහ කෙරේ. 

එසේම මහායාන බෞද්ධ සම්ප්‍රදායට අනුව, වජ්‍රපාණි තථාගතයන්වහන්සේගේ ශක්තියද නියෝජනය කරයි. 

කෙසේ වෙතත්, ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව, වජ්‍රපාණි යනු, බුදුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් චණ්ඩ වේශයක් ගෙන පෙනී සිටින සක් දෙවිඳුන් ය. හින්දු සහ පසුකාලින විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව, ඉන්ද්‍ර දෙවියන්ම වජ්‍රයක් අතින් ගෙන, ආරක්ෂක දෙවිකෙනෙකුගේ වෙස් ගත විට වජ්‍රපාණි නම් වේ. ඔහු ගෞතම බුදුන් වහන්සේට අගෞරව සහ අවමන් කරන්නන්හට දඬුවම් දීමට, රෞද්‍ර යක්ෂයෙකු ලෙසට වෙස් ගෙන මනුලොවට එන්නේ වජ්‍ර හෙවත් අකුණු සැර අතින් ගෙන, සතුරන් නසමිනි.

වජ්‍රපාණි බුදුන් වහන්සේගේ සහ බුද්ධ සාසනයේ ආරක්ෂක යක්ෂයෙකු / දෙවිකෙනෙකු ලෙස ඉන්දියාව, චීනය, ජපානය, නේපාලය, ටිබෙටය යන මහායාන / වජ්‍රායාන බෞද්ධ සම්ප්‍රදායයන් ප්‍රචලිත රටවල බොහෝ සෙයින් ගෞරවාදරයට පත් වන්නේය. ශ්‍රී ලංකාවේද, මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් ප්‍රචලිතව පැවතී සමයේදී වජ්‍රපාණි මිනිසුන්ගේ වැඳුම් පිදුම් වලට බඳුන්ව සිටි බවට සාධක ඇත. වජ්‍රපාණි බෝධිසත්වයන්ගේ යැයි විදවතුන් විසින් හඳුනා ගන්නා ප්‍රතිමා ලංකාවෙන් හමු වන්නේය. තන්ත්‍රයාන සම්ප්‍රදායට අනුව, වජ්‍රපාණි යක්ෂයෙක් ලෙස සිට පසුව බෝධිසත්තවයෙක් බවට පත් වූ කෙනෙකි. 

සෙන්ටිමීටර 39ක් උස වජ්‍රපාණි ලෝකඩ හිටි පිළිමයක් කුරුණෑගලින් හමුව එය දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. මේ ප්‍රතිමාව එහි කලා ලක්ෂණ අනුව 9 වැනි සියවසට අයත් බවට විශ්වාස  කෙරේ. ශිලාමය වජ්‍රපාණි හිටි පිළිමයක් බුදුරුවගල පිහිටියේය. 

මහායාන බුදුදහම ලක්දිවින් කෙමෙන් වියැකීයත්ම, වජ්‍රපාණි ඇදහිල්ලද ජන විඥානයෙන් කෙමෙන් ගිලිහි ගියේය. එහෙත් ඔහු බුදුන් වහන්සේගේ ආරක්ෂක බලවත් යක්ෂයෙකු ලෙසට අදටත් ලෝකයේ බොහෝ බෞද්ධ රටවල විරාජමාන වේ. 

කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති, කුරුණෑගලින් හමු වූ වජ්‍රපාණි ලෝකඩ ප්‍රතිමාව, 9 වන සියවස
බුදුරුවගල ශිලාමය වජ්‍රපාණි ප්‍රතිමාව

උප්පලවන්නා දෙවි 

උප්පලවන්නා හෙවත් උපුල්වන් දෙවිදුන් ලක්දිව සුප්‍රකටම දෙවිවරුන්ගෙන් කෙනෙකි. පාලි වංසකතා සහ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව, ගෞතම බුදුන්වහන්සේ තම පරිනිර්වාණයට පෙර සක් දෙවිඳුන්ටහට ලක්දිවත්, ලක්දිව බුද්ධ සාසනයත් භාර දෙන ලද්දේ, එහි ආරක්ෂාව සක් දෙවිදුන් හට පවරවමිනි. සක් දෙවිඳුන් එහි වගකීම උපුල්වන් දෙවියන් හට පවරන ලදී. 

උපුල් මලෙහි පැහැය හෙවත් නිල මානෙල් මලෙහි පැහැයෙන් යුතු මේ දෙවිඳුන් දේශීය දේව සභාවේ ප්‍රධාන තැනක් ගනී. දේශීය සම්ප්‍රදායේ එන පැරණිම දෙවි කෙනෙක් වුවත්, පසුකාලීනව විෂ්ණු දෙවියන් හා පටලවා ගැනීම නිසා, උපුල්වන් දෙවියන් තරමක් යට ගොසින්, ලංකා ආරක්ෂක දෙවි කෙනෙක් ලෙස විෂ්ණු දෙවියන් ඉස්මතුව ඇත. කෙසේ වෙතත්, මහාවංසය සහ ප්‍රධාන වංසකතා වල අනුව, විජය කුමරුන් ලක්දිව තම්බපන්ණියට ගොඩබට වෙලාවේ, ඔහුටත් ඔහුගේ හත් සියයයක් පිරිසට පිරිත් පැන් වත්කොට, පිරිත් නූල් බැඳ ආශීර්වාද කරන ලද්දේ උපුවන් දෙවියන් විසිනි. සියවස් ගණනාවක්ම උපුල්වන් දෙවි සක් දෙවිදුන්ගේ අණින් ලංකාරක්ෂක දෙවි කෙනෙක් ලෙසට වන්දනාමානයට බඳුන් විය. 

මේ දෙවියන්ගේ ප්‍රතිමා සහ සිතුවම් ලක්දිව බොහෝ විහාරස්ථානවල බුදු ගෙවල් තුළ දක්නට ලැබේ. එසේම උපුල්වන් දේවාල සෑම ගමකම පාහේ දක්නට ලැබේ. උත්තර භාරතීය දේව ඇදහිලි ලක්දිව ස්ථාපිත වීමට බොහෝ කලකට පෙර සිටම උපුල්වන් දෙවියන් මෙරට වැසියන්ගේ ගෞරදරයට පත් වූ දෙවි කෙනෙක් ලෙසට සාධක පවතින බැවින්, ඔහු දේශීය යක්ෂ ඇදහිල්ලක ශේෂයක්ද යන්නත් සැක පහළ කළ හැකිය. එසේම, මහාවංසය රචිත පස්වන සියවස වන විට උපුල්වන් දෙවියන් ලක්දිව ස්ථාපිත දේව ඇදහිල්ලක් වූවා බවටද සැක කළ හැකිය. 

“දෙවිවරුන්ගේ අධිපතියා වූ සක් දෙවිඳුන් තථාගතයන් වහන්සේගේ වචන ශ්‍රවණය කොට, ගෞරවයෙන් ලංකාවේ ආරක්ෂාව මානෙල් මලක පැහැයගත් උපුල්වන් දෙවිඳුන් වෙත පැවරී ය. ශක්‍රයාගෙන් එම භාරකාරත්වය ලැබුණු සැණින්, උපුල්වන් දෙවිඳුන් වහා ලංකාවට පැමිණ පරිබ්‍රාජක වේශයෙන් ගස් මුලක හිඳගත්තේය. විජයගේ සියලු අනුගාමිකයෝ ඔහු වෙත පැමිණ, “ස්වාමීනි, මේ කුමන දූපතක්ද?”යි විමසූහ. “මෙය ලංකාදීපයයි. මෙහි මිනිසුන් නැත, මෙහි කිසිදු උවදුරක්ද ඇති නොවන්නේය”යි දෙවිඳුන් පිළිතුරු දුන්නේය. ඔහු එසේ පවසා, තම පැන් කෙණ්ඩියෙන් ඔවුන් මත පැන් ඉස, ඔවුන්ගේ අත්වල නූලක් ගැටගැසීමෙන් පසු අහසින් අතුරුදන් විය.” (මහාවංසය, VII වන පරිච්ඡේදය)

“දෙවිවරුන්ගේ රජ වූ සුජම්පති තෙමේ, සම්බුද්ධ ආඥාව අසා, ලංකාද්වීපය ආරක්ෂා කිරීමේ වගකීම උත්පලවර්ණ වෙත පැවරී ය. ශක්‍රයාගේ අණ ඇසූ ඒ බලවත් දේවපුත්‍රයා තම පිරිවර යක්ෂයන් සමඟ දිවයින ආරක්ෂා කළේය.” (දීපවංශය, IX වන පරිච්ඡේදය)

දීපවංස සටහන බෙහෙවින් වැදගත් හෝඩුවාවක් ගෙන හැර පායි. එයට අනුව, උපුල්වන් හෙවත් උත්පලවර්ණ දෙවිඳුන් බලවත් දෙවි කෙනෙක් වූ අතර, ඔහුගේ යටත් පිරිවර ලෙස සිටින්නේ යක්ෂයන් ය. මෙය ඇතැම් විට උපුල්වන් දෙවිඳුන්ගේ දේශීයත්ව තවදුරත් තහවුරු කරන සාධකයක් විය හැකිය. 

සාහිත්‍ය මූලාශ්‍රවල උපුල්වන් දෙවියන්ගේ දෙවන මතුවීම ක්‍රිස්තු වර්ෂ 7 වන සහ 8 වන සියවස්වලදී සිදු වන අතර, තවත් සියවස් කිහිපයක විරාමයකින් පසු ඔහුගේ නම නැවතත් 13 වන සහ 14 වන සියවස්වල සාහිත්‍යයේ මතු වේ. උපුල්වන් දෙවියන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක දෙවියෙකු ලෙස මහාවංශයේ සඳහන් වුවද, උපුල්වන් දේව වන්දනයක් පිළිබඳ පළමු සඳහන දැක්වෙන්නේ 13 වන සියවසටය. 15 වන සියවසට අයත් පැරණි කාව්‍ය ග්‍රන්ථයක් වන පරවි සන්දේශය, උපුල්වන් දෙවියන්ගේ බිසව ලෙස සඳවන් බිසෝ ද, පුත්‍රයා ලෙස ධනු හෝ ජනක් ද සඳහන් කරයි.

දෙවිනුවර උපුල්වන් දේවාලය

පර්ජන්‍ය දෙවි 

පර්ජන්‍ය හෙවත් පජ්ජුන්න ලෙසට හැඳින්වෙන්නේ වෛදික සාහිතයේ සහ පසුව බෞද්ධ සහ හින්දු සාහිත්‍ය තුළ වන්දමාන කෙරෙන වැස්ස වළාහක දෙවියන්ය. මොහු වැස්ස, අකුණු සහිත මේඝ ගර්ජනාවලට මෙන්ම පෘතුවියේ සශ්‍රිකත්වයටද අධිපති වන්නේය. 

අනුරාධපුරයේ ඉරුසුමුණි විහාරයේ දක්නට ඇති සයවැනි සියවසට අයත් සුප්‍රකට මිනිසා සහ අශ්ව හිස කැටයම, මහාචාර්ය සෙනෙරත් පරණවිතාන මහතා දකින්නේ අග්නි සහ පර්ජන්‍ය දෙවියන්ගේ විය හැකි බවටයි. දක්ෂිණ මේඝගිරි විහාරය ලෙස අතීතයේ හැඳින්වූවා යැයි සිතිය හැකි වර්තමාන ඉසුරුමුණි විහාරය අතීතයේ වැස්ස උදෙසාත්, පෘථිවියේ සශ්‍රිකත්වය උදෙසාත්, වැස්ස වළාහක දෙවියන් හට පුද පූජා පැවැත්වූ ස්ථානයක් බවට ඇතැම් විද්වතුන් සැක පහළ කරති. මේඝ ගිරියන් බඳු ගල් කුළු මත ඉහළින් මහා රාජ ලීලාවෙන් හිඳ සිටින පර්ජන්‍ය දෙවියන් මෙම කටයමේ නිරුපණය වේ. ඊට පහළින් සුනිල දිය පිරි පොකුණුත්, ඒවායේ දිය කෙළින් හස්තිනුත්, තව දුරටත් මේඝයත්, පෘතුවි තලයේ සශ්‍රිකත්වයත් සංඛේතවත් කරයි. 

වර්තමානයේ අපගේ ජන විඥානයෙන් පර්ජන්‍ය හෙවත් වැස්ස වළාහක දෙවියන් ඈත් වුවද අතීතයේ ලක්වැසියන්ගේ පුද සත්කාරයන්ට ලක් වූ පර්ජන්‍ය හෙවත් වැස්ස වළාහක දෙවියන්, කෝප වූ විට මේඝ ගර්ජනා එවමින් මිනිසුන්ට දඬුවම් පමුණුවන බව සැලකේ. එසේම බෞද්ධ සාහිත්‍යයේ මේ දෙවියන් හට කන්නලව් කර වැස්ස ලබාදෙන මෙන් ඉල්ලන වැහි පිරිත් සහ කවි ද පවතී. 

අද අප සොබාදහමෙන් සහ සම්ප්‍රදායික ඇදහිලි විශ්වාස වලින් ඈත් වුවද, අතීතයේ අපගේ මුතුන් මිත්තන් සොබාදහමට බද්ධ වූ ජිවිත ගෙවූ බවට මෙවන් ඇදහිලි ඔස්සේ පෙනී යන්නේය. 

ඉසුරුමුණියේ පර්ජන්‍ය දෙවි

වෙසමුණි දෙවි 

වෙසමුණි දෙව් රජ හෙවත් වෛශ්‍රවණ නොඑසේනම් වෙස්සවණ දෙව් රජ බෞද්ධ සාහිතයේ හමුවන බලවත් යක්ෂයෙකි. මොහු දෙවි කෙනෙකු ලෙසත් අපමණ ගෞරවාදරයට ලක් ව ඇත. එසේම දේශීය යක්ෂ නායකයෙකු ලෙසත්, බලවත් මෙන්ම චණ්ඩ යක්ෂයෙකු ලෙසත් සුප්‍රකට මොහුද බුදුන් වහන්සේගේ සහ බුද්ධ සාසනයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූවෙකු ලෙස සැලකේ. 

වෙසමුණි යක්ෂයා හෙවත් දිව්‍ය රාජයා සැලකෙනුයේ සියලුම යක්ෂයන්ගේ අධිපති ලෙසයි. කුවේර ලෙසටද සැලකෙන මොහු පෘතුවියේ සියලු වස්තුන්ට අධිපති ලෙසත්, ධන නිධානයන් සියල්ලටම අධිපති ලෙසත් සැලකේ. එහෙයින් පෘතුවියේ නිධානයන් ආරක්ෂා කරන බහිරවයන් සියලු දෙනා කුවේරයන්ට යටත් බවට සැලකේ. බෞද්ධයන් අතර ඉතාම ජනාදරයට පත් ආටානාටිය සුත්‍රය දෙසන ලද්දේ වෙසමුණි හෙවත් කුවේර විසින් වන අතර, ඔහුත් ඔහුගේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ සහ ගාන්ධර්ව සේනාවන් බුද්ධ සාසනයත්, බුදුන් වහන්සේගේ අනුගාමිකයනුත් ආරක්ෂා කිරීමට දිවුරා සපථ වූවෝ වෙති. 

ජන විශ්වාසයන්ට අනුව වෙසමුණියන්ට ඉහළින් යාමට හෝ ඔහුගේ අණසක නොතකා සිටීමට හෝ කිසිඳු යක්ෂයෙක්ට නොහැක. 

තවත් විශ්වාසයන්ට අනුව, කුවේර යනු, රාවණ රජුගේ අර්ධ සොහොයරාය. වෙස්සවණ හෙවත් වෙසමුණි, වෛශ්‍රව හෙවත් විශ්‍රව මුනිවරයාගේ පුත්‍රයා ලෙසට සැලකේ. 

මහායාන, සහ හින්දු සම්ප්‍රදාය තුළත් මේ දෙවියන් ප්‍රකටය. මොහුගේ ප්‍රතිමා පැරණි සිංහල කලා ශිල්ප අතර හමුවන්නේය. කුවේරයන්ගේ යැයි සැලකෙන අර්ධ උන්නත කැටයමක් ඉසුරුමුණියෙන් හමු වේ. මෙය 5 වැනි සියවසට අයත් යැයි සැලකේ. 


අනුරාධපුර දක්ඛිණ ස්තුපයේ ආයක කැටයම්හි දක්නට ලැබෙන කුවේර දෙවි

මේ දෙවිවරුන් සහ යක්ෂයන් සිවු දෙන, දේශීයත්වය හා සබැඳුනු පැරණි ඇදහිලි විශ්වාසයන් තුළ මෙන්ම කලාපිය බෞද්ධ, වෛදික සහ හින්දු සම්ප්‍රදායන් තුළ ප්‍රකට මෙන්ම බලවත් දෙවිවරුන්ය. ඔවුන් සිව්දෙනාම මනුලොව තුළ අධර්මය ක්‍රියාත්මක වෙද්දීත්, ගෞතම බුදුන් වහන්සේට අකටයුතුකම් වෙද්දීත් දෙව්ලොව සිට මනුලොව  දෙසට දෙනෙත් හෙලා යුක්තිය සහ ධර්මය වෙනුවෙන් පෙනී සිටින බව ජන විශ්වාසයයි. එසේම, අධර්මය ක්‍රියාත්මක කරනවුන්හට චණ්ඩ ලෙස දඬුවම් කිරීමත් ඔවුන් සිදු කරන බව විශ්වාස කෙරේ. 

සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ දේව වන්දනය, යක්ෂ වන්දනය යනු අලුත් දෙයක් නෙවෙයි. මෙරටට බුදු දහම හඳුන්වා දෙන්න බොහෝ කලකට පෙර සිටම ලක්වාසීන් විවිධ යක්ෂයන් සහ දෙවියන් මෙන්ම නාගයන්ද වන්දනා කළ බවට පෞරාණික සාධක මෙන්ම ජනශ්‍රැති සාධක පවතී. මේ දෙවිවරුන් සහ යක්ෂයන් වටා ගොඩනැඟුණු වන්දනා ක්‍රම, පුද පූජා, කන්නලව්, සෙත් කවි, වස් කවි සහ ශාන්ති කර්ම රාශියක් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය විය. බුදු දහම හඳුන්වා දුන් පසුව, මෙම දේශීය ඇදහිලි විශ්වාස අභාවයට නොගිය අතර, ඒවා බෞද්ධ දර්ශනය සහ බෞද්ධ ඇදහිලි විශ්වාස සමඟ එක්ව නව මුහුණුවරකින් තවදුරත් ලක්වාසීන්ගේ ජනවිඥානය තුළ මුල් බැස ගත්තේය. 

සෙත් සාන්තිය පතා සෙත් කවි කීමත්, ආශීර්වාදාත්මක ශාන්ති කර්ම සිදු කිරීමත්, අසාධාරණය සහ දුක හමුවේ, දෙවියන්ට සහ යක්ෂයන්ට ඒ දුක කියමින් කන්නලව් කිරීමත් අපේ සංස්කෘතිය තුළ සාමාන්‍ය දෙයක්. එසේම, හතුරන්ට විණ කරන්නත්, පළි ගන්නටත් වස් කවි කීමත්, බලි තොවිල් නැටීමත් සාමාන්‍ය දෙයක්. මේ ඔස්සේ ඔවුන් අපේක්ෂා කරන්නේ, තම මනසට සහනයක් මෙන්ම, ඔවුන්ගේ විශ්වාසයන් අනුව හොඳ සහ නරක අදෘශ්‍යමාන බලවේගයන්ගේ පිහිට ලබා ගැනීමයි. මේවා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේවල් නොව, ගෝලීය වශයෙන් පොදු වූ සංසිද්ධියකි. 

අපේ ජනශ්‍රැතිය තුළ පවතින එහෙත් වැඩිදෙනෙක් ප්‍රසිද්ධියේ කතා කරන්නට මැළි වන අංගයක් නම්, වස් කවියයි. වස් දොස් හැරීමට ශාන්ති කර්ම පවතිනවා සේම, වස් දොස් ඇති කිරීමටද ක්‍රමවේද පවතී. මේ දේවල් සිදු කරන්නේ, කට්ටඩියෙක් / යකඳුරෙක් ලවාය. ඔහු එම ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙක් විය යුතුය. නැතිනම්, එම නපුර, තමා කරාම එන බවට ගැමියන් අතර විශ්වාසයක් පවතී. එසේම මේ දේවල් ආවට ගියාට සිදු නොකරන අතර, මේවා සිදු කරන්නේ, බොහෝ විට ඉවසුම් නැති ශෝකය, ආවේගය, තරහව නිසා උපන් දරාගත නොහැකි වේදනාව සහ මිහිපිට පාලකයන්ගෙන් හෝ නීතියෙන් හෝ පිහිටක් නොමැති වූ විට පමණි. එසේම පොල් ගැසීම, මැටියෙන් කළ පුළුටු රුවකට යම් යම් ජපකිරීම් කිරීම ද දුක සහ ක්‍රෝධය වෙනුවෙන් පිහිටක් සහ සහනයක් පතා සිදු කරන දේවල් ය. 

මේ සියල්ල නුතන ලෝකයේ, නුතන දෘෂ්ටියෙන් බැහැර කළ යුතු, ග්‍රාම්‍ය යැයි අවඥාවෙන් පසෙකලා යුතු දේවල් යැයි ඇතැමුන්ට සිතිය හැක. මේ විශ්වාසයන් ආසියාවට පමණක් අවේණික වූ ඒවා නොවේ. ලෝකය පුරාම මෙම ඇදහිලි වෙනත් නම් වලින්, වෙනත් සොබවයන්ගෙන් පවතී. සත්‍ය අසත්‍ය කෙසේ වෙතත්, මේ ඇදහිලි විශ්වාස ඔස්සේ නපුරට, අධර්මයට සහ අකටයුතුකම් වලට බිය වන මිනිසුන් බිහි වන්නේය. සොබාදහමට ගරු කරන්න මිනිසුන් බිහි වන්නේය. මනුසත්කම සහිත මිනිසුන් බිහි වන්නේය. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *