මතු මතු රැකිය යුතු කාවන්තිස්සගේ දූ පුතුන් 

ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා සමඟ සිදු කළ විශේෂ සංවාදය

ඕෂදී ගමගේ, Times of Lanka 

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් කියන්නේ, අපේ සංස්කෘතියට, ආගමික උරුමයට වගේම ස්වභාවික පරිසරයට විශාල වටිනාකමක් එක් කරන සම්පතක්. පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ, දකුණු ආසියාවේ සිටි විශාලතම වන හස්තියා ලෙස සැලකෙන, ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් විශාල වටිනාකමක් එක්කර දුන් කාවන්තිස්ස ඇත් රජුගේ මරණයත් සමඟ, වන අලි ඇතුන්ගේ ජීවිතවල ආරක්ෂාව, ඔවුන් මුහුණ දෙන එවැනි සිදුවීම් පිටුපස ඇති සැබෑ හේතු පිළිබඳ නැවතත් කතාබහක් ඇතිවුණා.

ඇත්තටම කාවන්තිස්ස ඇතාට සිදු වූයේ කුමක්ද?

මහා ඇතු කාවන්තිස්සගේ අනාගත පරපුර සුරකින්නේ කෙසේද? 

මේ පිළිබඳ ප්‍රවීණ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක ගුරුතුමන් සමග Times of Lanka හි අපි සාකච්ඡා කළෙමු.

‘මහා ඇතා’ නොහොත් කාවන්තිස්ස ඇතුගේ හදිසි අභාවය ඔබ දකින්නේ කෙසේද? එය ස්වභාවික මරණයක්ද? ඝාතනයක්ද? 

මේ ප්‍රශ්නයට කෙලින්ම උත්තරය දෙනවා නම් කාවන්තිස්ස ඇත් රජුගේ මරණය කිසිසේත්ම ස්වාභාවික මරණයක් නෙමෙයි කියන එක සාමාන්‍යයෙන් පොඩි දරුවෙකුට වුණත් තේරෙනවා. මොකද මේ කාවන්තිස්ස ඇත් රජු කියන්නේ ජීවමාන ලෝක උරුමයක්. ඒ කියන්නේ World Heritage එකක්. ඒ විදියට නම් කරාට පස්සේ ඒ සතා අපේ රටේ හිටියාට මුළු ලෝකෙටම අයිති සංකේතාත්මක වටිනාකමක් තියෙන දෙයක්. ජීවමානව ඉන්න ලෝක උරුමයක්. ඇත්තටම මේ ජීවමාන ලෝක උරුමය පිළිබඳව අදාළ අංශ වලට විවිධ පාර්ශව මඟින්, ඒ කියන්නේ වනජීවී ඡායාරූප ශිල්පීන්, ස්වාධීනව අලි ඇතුන්ට ආදරය කරන අය විසින් නිරීක්ෂණය කරලා අවුරුදු ගාණක ඉඳන් කියනවා මේ දකුණු ආසියාවේ ඉන්න විශාලතම ඇත් රජු, ඔහුව පරිස්සම් කරන එක ලෝකය වෙනුවෙන්ම අපි කරන්න ඕනේ කියලා. මොකද ඒක අපිට විතරක් අයිති සම්පතක් නෙමෙයි. මුළු ලෝකය වෙනුවෙන්ම අයිති. ඔහු තව අවුරුද්දක් ජිවත් වෙනවා නම් ඒ අවුරුද්ද කියන්නේ රටට ඩොලර් ලක්ෂ ගාණක් අරන් එන කෙනෙක්. ඉතින් ඒක නිසා එවැනි මහා ඇත් රජෙක් පරිස්සම් කරනවා කියන එක ඒ වගකිය යුතු අංශ වල, රජයේ සම්පුර්ණ වගකීමක්. නිකන්ම නිකන් ඇතෙක් නෙමෙයි කාවන්තිස්ස කියන්නේ. ඉතින් ඒක නිසා World Heritage එකක් රැකගැනීමට නොහැකි වීම ඒ අදාළ අංශ වල දුර්වලතාවය කියන එක ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. 

මේ ඇතාගේ ඉදිරිපස පාදයක තුවාලයක් තිබුණා. වෙඩි වැදීම් තිබුණා. ඒවගේම ඔහුට පාචන රෝගයක් ඇති වී තිබුණු බව නිරීක්ෂණය කරලා තිබුණා. නමුත් මේ මොහොත වෙනකනුත් ඇත් රජුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මම දන්න විදියට මාධ්‍ය වෙත නිදහස් කරලා නෑ.

ඉතින් එවැනි තත්ත්වයක් යටතේ අපට පෙනී යන දෙයක් තමයි කාවන්තිස්ස ඇත් රජුට ලැබුණේ ස්වභාවික මරණයක් නෙමෙයි. ඕනෙනම් තව කාලයක් ඇත්තටම අපට සජීවීව තියාගන්න තිබුණා. නමුත් නොසැලකිලිමත්කම නිසා සහ වගකීම් විරහිතකම නිසා නිරපරාදේ තවත් වසර ගණනාවක් ජිවත් වෙන්න තිබිච්ච සතෙක්ගේ ජිවිතය නැතිවුණා. එතකොට කිසිම වගකිවයුතු අංශයකට  මේකෙදි අපිට පුළුවන් හරිය අපි කළා, කියලා ශේප් වෙන්න නම් බෑ. ඒ වගකීම අනිවාරෙන්ම ඒ අංශ වෙත පැවරෙනවා. එවැනි ජීවමාන ලෝක උරුමයක වටිනාකම පිළිබඳව දැනුවත්ව හිටියේ නෑ, එයාව අපි මෙච්චර කල් බලාගත්ත කියලා එහෙම ශේප් වෙන එක මම දකින්නේ වගකීම පැහැර හැරීමක් විදියට. 

සති කිහිපයකට කලින් ඉතාම හොඳින් හිටපු කාවන්තිස්සට ඇත්තටම මොකක්ද එකපාරටම වෙන්න ඇත්තේ?

ඇත්තටම තුවාලය සහිතවත් ඒ සතා හොදින් හිටියා. නමුත් තුවාලයට ප්‍රතිකාර කිරීම ආරම්භ වුණාට පස්සේ ටික දවසක් යද්දිත් අපි දැක්කා ප්‍රකාශ නිකුත් කරලා තිබුණා ඔහුට දැන් සුවයි කියලා. ඊට පස්සේ තමයි පාචන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඔය දෙක අතර සිදු කරලා තියෙන ප්‍රතිකාර මොනවද, දුන්න ඖෂධ මොනවද, පිළිබඳව ඉතින් අපිට පැහැදිලි අදහසක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයක් මගින් තමයි සතාගේ මියයෑමට හේතුව හරියටම දැනගන්නට වෙන්නේ. රජයේ වගකීම තමයි මහජනතාවට ඒ මරණයේ හේතුව හොයලා දෙන එක. හැබැයි ඒවාට ප්‍රතිකාර කිරීමට සම්බන්ධ පාර්ශවයක් විසින්ම නම් මේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නේ, ඒ මරණ පරීක්ෂණයේ එන වාර්තාව හරිම වාර්තාව කියල අපිට පිළිගන්න පුළුවන්කමක් නෑ .

වනජීවී පශුවෛද්‍යවරු කියනවා කකුලේ තිබුණු වෙඩි වැදීමකින් ඇති වූවා යැයි කියූ තුවාලය එයාලා  හොඳ කළා කියලා. ඒ කියන්නේ ඇතා මැරිලා තියෙන්නේ වෙඩි වැදීමකින් නෙමෙයිද? 

ඒත් එක්කම ඇතැම් වනජීවී නිලධාරීන් කියනවා කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ කිහිපදෙනෙක් අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මා කියලා. කවුද හරි? 

වෙඩි වැදීමක් නොමැති වන අලියෙක් ඔය ප්‍රදේශය තුළ නැහැ. ඇඟේ මූනිස්සම් නැති එක වන අලියෙක්වත් නැහැ. ඒ හැම වන අලියෙක්ම, ඇතෙක්ම වගේ වෙඩි වැදීම් වලට ලක් වෙලා තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි කකුලකට වෙඩි වැදීමෙන් ඇති වූ තුවාලය නිසා මේ සතා මිය ගියාද, එහෙම නැත්නම් කිසියම් ඖෂධ ප්‍රතිකාර කිරීමේදී සිද්ධ වෙච්ච මොනවා හරි ප්‍රශ්නයක් නිසා මියගියාද කියන එක. මොකද තවත් ඉන්නවා උදාහරණයක් විදියට ගත්තොත්, අග්බෝ වගේ ඇතුන් වෙඩි වැදීම් සහිතව තවමත් ජිවත් වෙනවා. ඒ කියන්නේ වෙඩි වැදීම් තුවාල සහ මුනිස්සම් සහිතව. 

ඊළගට අනිත් ප්‍රශ්නය තමයි,  මියඟිය කාවන්තිස්සගේ ඇඟේ වෙඩි වැදීම් තිබුණා නම් ඒවායේ තියෙන්න ඕනේ බුලට්. එතකොට රස පරීක්ෂක වාර්තාවක් මගින් පුළුවන් ඒ ටික අරගෙන, දැන් සැකපිට අල්ලලා තියෙන අයගේ තුවක්කු වල තියෙන ද්‍රව්‍ය සමග සංසන්දනය කරලා, විද්‍යාත්මක වාර්තාවක් අරගෙන ගලපන්නට පුළුවන් මේ තුවක්කුවෙන්ද වෙඩි තියල තියෙන්නේ කියලා. තවදුරටත් හරියටම ගලපනවානම් හොයාගන්න පුළුවන් කොයි කාලයේදීද වෙඩි වැදිලා තියෙන්නේ කියන එක. 

දැන් මේ වෙනකොට කොච්චර කාලයක් වෙඩි වැදිලා ඉඳල තියෙනවද කියන එක පවා ගණනය කරන්න පුළුවන්. වෙඩි වැදිලා තියෙන්නේ කොයි තැන්වලටද, ඒ බුලට්ස් කොයි වගේද , ඒවා මං හිතන්නේ  අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. සැකකරුවන් බලල සැකකරුවන් භාවිත කරලා තියෙනවනම් ඒ තුවක්කු, ඒවායේ  මුනිස්සම් සමඟ සතාගේ ඇඟේ මුනිස්සම් සංසන්දනය කරලා රස පරීක්ෂක වාර්තාවක් ගත්තොත් අපිට නිශ්චිතවම හොයාගන්නට පුළුවන්. 

සතා මැරුණේ වෙඩි තැබීමකින් නොවෙයි වුණත් වෙඩි තැබීම අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතු වරදක්. අනිත් එක තමයි ඒ ප්‍රදේශවල ගොවීන්ට ගිනි අවි නිකුත් කරපු විදිය, හේතුව සහ ඒවා භාවිත කරලා තිබෙන ආකාරය පිළිබඳවත් සොයා බැලිය යුතුයි. රස පරීක්ෂක වාර්තාවක් මගින් තහවුරු කළ යුතුයි මේ ඇතාට වෙඩි තැබුවේ ඒ සකකරුවන්ම ද කියන එක.

අනිත් දෙය තමයි වෙඩි වැදීම නිසාද මියගියේ නැතිනම් වෙනත් හේතුවක් නිසාද මියගියේ කියල බැලිය යුතුයි. මොකද වෙඩි වැදුණු දවසත් මියගිය දවසත් අතර ලොකු කාලයක් තියනවා. අපිට ඇත්තටම තියෙන්නේ ගැටලුවක්. රජයක් විදියට ඒ වගකිව යුතු අය කළ යුතු වන්නේ ඉතාම ඉක්මනින් මේ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබාදෙන එක. ඒ වගේම ස්වාධීන කණ්ඩායමක් විසින් සිදු කළහොත් පමණයි අපට එය පිළිගන්නට පුළුවන්. 

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය වල සංසරණය වුණා, හබරණ දී ලොරියක හැප්පිලා එක දළයක් ගැලවිලා ගිය සුමේධ ඇතා, වනජීවී එකට අහුනොවී පැනල දුවපු නිසා ජිවිතේ බේරගත්ත කියලා..

සුමේධ ඇතා හොයාගෙන ගිය වනජීවී නිලධාරීන් සහ පර්යේෂකයින් නිරීක්ෂණය කරලා තිබුණා ඇතා කාපු ගස් වර්ග, පොතු වර්ග කීපයක්. අලි ඇතුන්ට ස්වභාවික ඖෂධ වලින් තනියම ලෙඩක් සනීප කරගන්න පුළුවන්ද? 

ඔව් ඇත්තම කියනවානම් මේ පරිණාමික ක්‍රියාවලියේ මිනිස්සු මේ සතුන්ට ප්‍රතිකාර කරන්න පටන් අරන් ගත වූ කාලය ගත්තොත් ඉතාම සුළු කාලයක්. එම නිසා මේ සත්ත්ව පරිණාමික ක්‍රියාවලියේම තියෙනවා ඒ සතා ඒ පරිසරය තුළ නොනැසී පැවතීමට සහජ උරුමයෙන් ලැබෙන දේවල්. සරලම උදාහරණය තමයි, පැටවෙක් ඉපදුනාට පස්සේ ඒ පැටවා හුස්ම ගන්නේ නැත්තම් ඒක මව් ඇතින්න විසින් නිරීක්ෂණය කරලා පැටවා හුස්ම ගන්නා තුරුම අපි කෘතිම ශ්වසනය දෙනවා වගේ ක්‍රියා කරනවා. එතකොට ඇතින්නට ඒ දැනුම ලැබුනේ කොහොමද? ඔවුන්ට ස්වාභාවිකවම එවැනි දැනුමක් ලැබෙනවා. සමහර වෙලාවට ඒ තුවාලය සහ අසාධන තත්ත්වයේ තියෙන බරපතලකම මත ඇතැම්විට මිනිසුන්ට මැදිහත් වෙලා ඖෂධ ලබාදෙන්න සිද්ධ වෙනවා. හැබැයි අලි ඇතුන්ට පමණක් නොවයි ගොඩක් සත්තුන්ට ස්වභාවිකව තියෙන ඉවක් තියෙනවා තමන්ට තුවාලයක් තියෙන තත්ත්වය යටතේ, තමන්ට අවශ්‍ය වන ඖෂධ සොයාගෙන ඒවා භාවිතා කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. සරලතම උදාහරණය තමයි කුප්පමේනියා මුල හොයාගන්න පුසාට හැකියාව තියෙනවා. 

සුමේධ ඇතා ගත්තහම ස්වාභාවිකවම ඔහු ගත් ආහාර මඟින්ම තුවාලය සනීප වුණා වන්නට පුළුවන්. 

තව දෙයක් තියෙනවා. මේ ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්න සතුන්ගේ ඒ ශාක ද්‍රව්‍ය ජීරණය වෙන්නේ ඒ සතා විසින්ම ශ්‍රාවය කරන එන්සයිම වලින් නෙමෙයි. සියයට හැත්තෑවක් විතරම සතාගේ උණ්ඩුකය 

තුළ ඉන්න බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය මඟින්, පැසීම කියන තත්ත්වය යටතේ තමයි ආහාරය ජීරණය වෙන්නේ. දැන් තුවාලයක් ඇති වුණාමත් එතන ඉන්නෙත් බැක්ටීරියාවෝ. එතන ඉන්නේ හානිදායක(harmful) බැක්ටීරියාවෝ. ජීරණයට සම්බන්ධ වෙන්නේ හානිදායක නොවන (harmless) බැක්ටීරියාවෝ. හානිදායක බැක්ටීරියා මර්ධනයට ප්‍රතිජීවක දෙන විට ඇඟ ඇතුළේ ඉන්න හිතකර බැක්ටීරියාවන්ටත් එය හානිදායක වෙන්න පුළුවන්. බැරිවෙලා හරි ඒ විදියට හිතකර 

බැක්ටීරියා ටික මැරුනොත් සතාගේ අහාර ජීරණ ක්‍රියාවලිය සාර්ථකව කරගන්නට බැරිවෙනවා. එවැනි තත්ත්ව යටතේ සතාට පාචනය, අජීර්ණය වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන්. 

කාවන්තිස්සලා වගේ අලි ඇත්තු සංරක්ෂණය කරන්න ඉන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන අපිට මහජනතාව ලෙස සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

ඔව් වනජීවී එක ගත්තොත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සුම තමයි. හැබැයි ඔවුන් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් බැලුවට, මේ ස්වභාදහම, ස්වභාදහමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පුදුමාකාර උනන්දුවක් තියෙන මිනිස්සු ඉන්නවා සමහරවිට අර අධ්‍යාපන සුදුසුකම නැති. එතකොට මේ බඳවාගෙන ඉන්න සියලුම දෙනා ඇත්තටම මේ ස්වාභාවදහමට ආදරේ අයද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒක තවත් එක රස්සාවක් විතරද? ඔන්න ඔය ප්‍රශ්නය තියෙනවා. එතකොට දැන් ඔය අතර ඉන්නවා වනජීවී එකේ තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව කැපවෙලා වැඩ කරන අය. ඒ අය එහෙම වැඩ කරද්දී මේකේ වගකීම ගන්නේ නැතුව තමන්ට මේක එක රැකියාවක් පමණක් කරගත්තු අයත් ඉන්නවා. 

මේ විදියට මෙහෙම අලි ඇතුන් මිය යනකොට සාමාන්‍ය මහජනතාව තුළ ඇති වෙනවා ගැටලුවක් මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම හරියට දරනවද කියන එක. ඒගොල්ලන්ගේ පැත්තෙන් තව ප්‍රශ්න ටිකක් තියෙනවා. එයාලට අවශ්‍ය උපකරණ තියෙනවාද, ජංගම රෝහලක් විදියට ගෙනියන්න පුළුවන් දේවල් තියෙනවද, ස්කෑනර් යන්ත්‍ර තියනවද, ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවද වගේ දේවල්. අපි ඒ පැත්තත් බලන්න ඕනේ. 

අපිට ‘මොකක්ද වනජීවී එක කරන්නේ? ඔයාලට මේක කරන්න බැරිද?’ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි එයාලගේ පැත්තෙන් බැලුවම එයාලට අවශ්‍ය කරන පහසුකම් ටික තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අපි හොයලා බලන්න ඕනේ. නමුත් අපි කාලයක් තිස්සේ බලනකොට සාමාන්‍ය ජනතාවට පෙනී යන දෙයක් තමයි, වනජීවී එකේ අය කතා කරද්දී, ප්‍රකාශ නිකුත් කරද්දී, උදාහරණයක් ගත්තොත්, කාවන්තිස්ස කියන්නේ තවත් එක ඇතෙක් විතරයි වගේ තමයි කතා කරන්නේ. අන්න එතකොට මිනිස්සුන්ගේ පැත්තෙන් ගැටළුවක් ඇතිවෙනවා ඒගොල්ලෝ ඒකේ  වගකීම දරන්නේ නැද්ද කියල. ඒක තමයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ලවෙන  චෝදනාව. ඒ අය මීට වැඩි අවධානයක් දෙන්න ඕනේ සහ එහෙම නැත්නම් පෙන්නලා දෙන්න ඕනේ ඔවුන්ට ඇති අඩුපාඩු, අපහසුතා ගැන. එතකොට සමහරවිට මේ රටේ ජනතාවත් ඒ අඩුපාඩු සපුරගන්න උපරිම සහයෝගය දෙන්න පසුබට වෙන එකක් නැහැ. මහජනතාවත් එක්ක එකතු වෙලා මේ දේ කරන්න  පුළුවන් නම් මීට වඩා හොඳ සේවයක් වනජීවීන් වෙනුවෙන් ලබාදෙන්න පුළුවන්.

වනජීවී සංරක්ෂණය කියන සිමාවෙන් එහාට ගිහිල්ල කවන්තිස්සල වගේ ජීවමාන උරුම සංරක්ෂණයට අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි නේද?

ඔව්. අපිට බලන්න පුළුවන් ඉන්දියාව, කෙන්යාව, තායිලන්තය වගේ රටවල් මොනවගේ දේවල්ද අනුගමනය කරන්නේ ඒවගේ අයව රැකගැනීම සඳහා කියලා. වන අලි ඇතුන් කියන සමූහයයි, ඒක ඇතුලේ ඉන්න විශාල දළ තියෙන, විශාල දේහ තියෙන අය ගත්තොත් එයාලට ජානමය හේතු, පාරිසරික හේතු, ඔවුන් ගන්නා ආහාර කියන මේවගේ හේතු රාශියකම එකතුවක් විදියට තමයි එවැනි ඇත් රජුන් බිහිවෙන්නේ. ඒ අයව සාමාන්‍ය වනජීවින් විදියට සලකලා කටයුතු කිරීම තමයි මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. 

ඉන්දියාවේ කේරළයේ ඉන්න පදයප්පා කියන ඇතා ගත්තොත් ඔවුන් ඒ ඇතා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, මොකක්ද ඒ සතාට දීලා තියෙන ආරක්ෂාව කියල අපිට හොයලා බලන්න පුළුවන්. හොයල බලල ඇයි අපිට බැරි කෙන්යාව, තායිලන්තය, ඉන්දියාව වගේ රටවල් වගේ එවැනි සුවිශේෂී සතුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් හදන්න. මන් දැක්කා මේ පහුගිය දවස්වල ඔය ප්‍රදේශයේ ඉතිරිවෙලා ඉන්න ඇතුන් වෙනුවෙන් හමුදා ආරක්ෂාව ලබාදෙනවා කියල ප්‍රවෘතියක්. ඇත්තටම ඒ වගේ පොලීසිය, හමුදාව, වනජීවී දෙපාර්තමේන්තුව මේ හැමෝවම ඒකාබද්ධ කරලා සුවිශේෂී සතුන් ඉලක්ක කරලා වැඩපිළිවෙලක් හදන්න පුලුවන්නම් ඒක ජනතාවගේ හිතටත් විශාල සහනයක් වෙයි.

ඇතුන් ගැන කතාකරන නිසාම ඔබතුමාගෙන් අහන්න කැමති, ඇතෙක්  විශේෂ වෙන්නේ ලස්සන දළ දෙකක් තියෙන නිසාම විතරද ?

නැහැ, ඇතෙක් විශේෂ වෙන්නේ දළ දෙක නිසාම විතරක් නෙමෙයි. අපි ඇතෙක් සංරක්ෂණය කරනවානම් එයා සැරිසරන වන භූමියම ආරක්ෂා කරන්න වෙනවා, අපි ඕකට කියනවා එයාව අපිට ධජයධාරී කෙනෙක් විදියට සලකන්න පුළුවන් කියල. එයාගේ රූපය,පෙනුම, මහජන ආකර්ෂණය යොදාගෙන මුලු පරිසර පද්ධතියම රැකගන්න ඒක යොදාගන්න පුළුවන්. උදාහරණයක් විදියට අග්බෝ ඇතා ගත්තොත් අග්බෝ ඇතා රැකගැනීම එම ඇතා ජීවත් වන මුළු පරිසර පද්ධතියම රැකගැනීමට දායක වෙනවා. මිනිස්සුන්ගේ අවධානය  යොමුවෙන්නේ ඒ ඇතා පිළිබඳව, නමුත් එයාව ආරක්ෂා කරන්න ගන්න ක්‍රියා මාර්ග මඟින් සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා වීම සිදුවෙනවා. සමර වෙලාවට අපි ඒක Umbrella Species කියලා හඳුන්වනවා. 

දළ ඇතෙකුට එම පරිසර පද්ධතිය තුළ අනිත් අලින්ට වඩා වෙනස් සුවිශේෂී වූ කාර්යයන් සිදු කරන්න පුළුවන්. උදාහරණ විදියට, බිම හාරන්න පුළුවන්, වතුර තියෙන තැන් හාරලා වතුර ගන්න පුළුවන්, ගසක පොත්තක් ගලවන්න පුළුවන්. එම නිසා දළ දෙක විතරක් නෙමෙයි මුළු සතාම තමයි සුවිශේෂී වෙන්නේ.

අපි අහලා තියෙනවා අලි ඇත්තු කියන්නේ පරිසර පද්ධතියක ඉංජිනේරුවෝ කියලා. එයින් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? 

අපි ඒකට ජීව විද්‍යාවේදී කියනවා Keystone Species – මුල් ගල් විශේෂ කියලා. ඒ කියන්නේ කිසියම් පරිසර පද්ධතියක පැවැත්ම සහ ස්ථායිතාවය පවත්වාගෙන යන්න මූලික වන ජීව විශේෂය. ඒ කියන්නේ ඒ පරිසර පද්ධතිය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් ඒ ජීව විශේෂය ඒ පරිසර පද්ධතියෙන් අයින් වුණොත්. 

අපි සරලව උදාහරණයක් ගත්තොත්, මුහුදේ ගොඩක් සත්තු ජීවත් වෙනවනේ. හැබැයි ප්‍රභාසංස්ලේෂණය කරන කුඩා ඇල්ගාවෝ ඉන්නවා. ඒ ඇල්ගාවෝ තමයි ඒ මුළු සමුද්‍ර පරිසර පද්ධතියටම ඕන කරන ප්‍රාථමික නිෂ්පාදනය දෙන්නේ. ඒක අයින් වුනොත් අනිත් ඔක්කොම මඟ ඇරිලා යනවා. ඒ වගේ අලි ඇතුන් කියන්නේ මේ පරිසර පද්ධතිය සුවිශේෂිව නිර්මාණය කරන අය. ඒගොල්ලෝ ගස්වල අතු කඩාගෙන කෑම නිසා ඒ පවතින පරිසර පද්ධතිය පවත්වාගෙන යාමට වැදගත් වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ මාර්ග හදන අය. ඒ පාරවල් අනිත් සත්තුන්ට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම සමහර ශාක වල බීජ ප්‍රරෝහණය කරනවා. ඔවුන් ආහාරයට ගෙන එළියට දමන වසුරු මගින් සමහර බීජ පැළවීමට දායක වෙනවා. යම්කිසි හේතුවකින් එම බීජ විශේෂය වෙන අයෙක් ආහාරයට ගන්නේ නැත්තම්, අලියාගේ ආහාර මාර්ගය තුළින් ගියෙත් නැත්නම් එම බීජය පැළවෙන්නේ නැතිවෙන්න පුළුවන්. අලි ඇතුන් අයින් කළොත් එම ශාක විශේෂයේ පැවැත්මත් නැති වෙලා යන්න පුළුවන්. එසේම ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වෙනවා. ඔවුන් දවසකට විශාල ආහාර  ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ඊටපස්සේ ඔවුන් නිදහස් කරන වසුරු ඇතුලේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයක් සිදුවෙනවා. අවසානයේ එම පෝෂකම නැවත ශාක තුළට ලැබීම සිද්ධ වෙනවා. 

ඕනෑම පරිසර පද්ධතියක ඉන්න ඕනෑම ජීවියෙක් ඒ පරිසර පද්ධතිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කරනවා. එම නිසා අලි ඇතුන් කියන්නේ යම්කිසි පරිසර පද්ධතියක් ඇතුළේ බොහෝ දේවල්වල නිර්මාණකරුවන්. එමනිසා ඔවුන් නැති වුනොත් ඒ නිර්මාණශීලිත්වයත් නැතිවෙලා යනවා. 

පරිසර පද්ධතියක් ඇතුළෙ සාමාන්‍ය අලියෙක්ට කරන්න බැරි ඇතෙක්ට විතරක් කරන්න පුළුවන් පාරිසරික සේවාවන් මොනවද?

ඇතෙක්ට කරන්න පුළුවන් පාරිසරික සේවාවන් තමයි, සමහර තැන්වල පසේ ඛනිජ ලවණ තියෙන ගල් තියෙනවා. ඇතුන් ඒවා හොයාගෙන ගිහිල්ලා දළ වලින් ගහල ගලවනවා. එතකොට අනිත් අලින්ටත් එම ද්‍රව්‍යය ආහාරයට ගන්න පුළුවන්. අපි කෑමවලට ලුණු දාලා කනවා වගේ එයාලටත් ඒ ඛනිජ ලවණ ඕනේ වෙනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමනලයෝ බිම මඩගොඩවල්වල වහලා ඉන්නවා. ඒත් එතන මල් පැණි නැනේ. නමුත් එතැනදී ඒ සත්ත්වයා කරන්නේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න එක. ඒ වගේම තමයි අලි ඇතුන් ඛනිජ ලබාගන්න එකත්. ඒක සාමාන්‍ය අලියෙක්ට කරන්න බෑනේ. ඒක නිසා තමයි දළ ඇත්තු විසින් ඒ ගල් හාරන්නේ. එතකොට අනිත් අලින්ටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 

ශ්‍රී ලංකාවේ ආසියානු උප අලි විශේෂය වන Elephas maximus maximus තුළ දළ පිහිටීමේ ජීව විද්‍යාත්මක පදනම කුමක්ද? දළ එන්නේ ජාන වලින්ද? ඒ ජාන පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ කොහොමද?

ඉතාම කණගාටුදායකයි ලංකාවේ කොතරම් විශේෂඥ දැනුම තියෙන අය හිටියත් මම දන්න පරිදි මේ ගැන හරියටම අධ්‍යනයය කරලා, ප්‍රවේණිකව සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද කියල හරියටම පැහැදිලි කරලා නැහැ. දැන් අපි ගත්තොත් මිනිසුන්ගේත් වර්ණදේහ හතළිස් හයක් තියෙනවා. අවසාන වර්ණදේහ යුගලය ලිංග වර්ණදේහ විදියට හදුන්වනවා. ඒ මගින් තමයි කාන්තාවක් සහ පිරිමියෙක් ලෙස වෙන්වීම සිද්ධ වන්නේ. සාමාන්‍යයෙන් පිරිමි සත්තු ගත්තොත්, උඩ හනුවේ කෘන්තක දත් තමයි දික් වෙලා එලියට ඇවිල්ල දළ විදියට එන්නේ.

එළියට එන දිග දළ තියෙන අය, කොට දළ තියෙන අය, දළය සහිත නමුත් එලියට නොපෙනෙන අය ලෙස වර්ග තුනක් අපිට හඳුනාගන්න පුළුවන්. දැන් අපි හිතනවනේ කාවන්තිස්ස වගේ දිග දළ තියෙන ඇතෙක්ගෙන් ප්‍රජනනය වෙලා බිහිවෙන ජීවියා ඇතෙක්ම වෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව, මෙයට මව් පාර්ශ්වයෙන් හා පිය පාර්ශ්වයෙන් යන දෙකෙන්ම අදාළ ජාන ලැබීම. උදාහරණයක් විදියට, යම් ජානයක් ගත්තොත් ඒකෙ විශමයෝගී කියල තත්ත්වයක් තියෙනවා. අපි දන්නේ නෑ කාවන්තිස්සගේ ජාන සමයෝගීද විෂමයෝගීද කියලා. එයා සම්බන්ධ වන ගැහැනු සතා , සමයෝගී නිලීන සතෙක් වුනොත් එහෙම ඒ එන පැටවා සමහරවිට දළ තියන පැටියෙක් වෙන්නත් පුළුවන්, දළ නැති වෙන්නත් පුළුවන්.  

සමහර අයට අදහසක් තියෙනවා දළ තියෙන සතාගෙන් බිහිවෙන හැම පැටියාම දළ තියෙනවා කියලා. එහෙම නෑ. ඒක මව් පාර්ශ්වයේ ජාන රාශියකත්, පිය පාර්ශ්වයේ ජාන රාශියකත් සුවිශේෂ එකතුවකින් තමයි මේ දළ පිහිටන්නේ. දළ පිහිටියාට පස්සෙත් ඒ දළ වර්ධනය වෙන්නත් පාරිසරික දේවලුත් බලපානවා. ඒ කියන්නේ ලැබෙන ආහාර, හෝමෝනවල ක්‍රියාකාරිත්වය, පාරිසරික සාධක, උෂ්ණත්වය වගේ පාරිසරික සහ ජානමය සාධක රාශියක එකතුවකින් තමයි එවැනි සුවිශේෂී සතෙක් නිර්මාණය වෙන්නේ. අපේ අලින්ගේ ගහණය තුළ දිගට දළ තියෙන අය බිහිවීමේ හැකියාව සාමාන්‍යයෙන් සියයට පහටත් වඩා අඩුයි. ඒක නිසා එහෙම බිහිවෙලා, එකෙත් දිගම දළක් තියෙන සතෙක් බිහිවෙන එක ඉතාම කලාතුරකින් වෙන දෙයක්. නමුත් අප්‍රිකානු අලින්ගේ, ගොඩක් අලින්ගේ දළ තියෙනවා. ආසියානු අලින්ගේ ගහණයෙන් සීමිත පිරිසකට තමයි දළ වර්ධනය වීම සිදුවෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔවුන් සුවිශේෂී වෙන්නේ.

ඒ කියන්නේ ඇතෙක්ගෙන් බිහිවෙන පැටියෙක් අනිවාරෙන්ම ඇතෙක් වෙන්නේ නෑ නේද? 

නැහැ. දළ තියෙන ඇතෙක් ඉන්නකොට දළ ඇති ගැහැණු සත්තු තුළත් දළ ඇති සතෙක් ඇති කිරීමේ ජාන තියෙනවා. හැබැයි ඒ ජානය ප්‍රකාශ වෙලා නැහැ. ඇතා විතරක් සුරැකීමෙන් මේ ඇත් පරපුර ඉස්සරහට ගෙනියන්න බැහැ. සමස්ත ගහණයම රැකගැනීමෙන් තමයි මේ පරපුර ඉස්සරහට ගෙනියන්න පුළුවන්. 

එහෙම බැලුවම කවන්තිස්සට ඇත් පැටවුන්ට වඩා අලි පැටවුන් ගොඩක් ඔය ගල්ගමුව අලි රංචුවේ ඇති නේද ?

ඔව් අනිවාරෙන්. දැන් අපි  හිතමුකෝ එයා හරහා පැටවු දහදෙනෙක් බිහිවුණා කියලා. ඒකෙන් අට දෙනෙක්ම වගේ වෙන්නේ සාමාන්‍ය අලි පැටවු තමයි. කලාතුරකින් තමයි මව් පාර්ශ්වයෙන් පිය පාර්ශ්වයෙන් දෙකෙන්ම එකතු වෙලා, දෙකෙන්ම අදාළ ජාන සමූහය ලැබිලා තමයි දළ ඇතෙක් නිර්මාණය වෙන්නේ. 

ඇතෙක්ට දළ පිහිටන ජානය එන්නේ මව් සහ පිය පාර්ශවයෙන් කියන දෙපැත්තෙන්ම නම්, කවන්තිස්සලගේ මතු පරපුර රැකගන්න සමස්ත වන අලි පරපුරම රැකගන්න ඕනේ නේද?

ඔව් අනිවාරෙන්ම. ජාන සමූහයක් තියෙනවා ගහණය තුළ. ඒ ජාන සමූහය ඇතුලේ තියෙන ජාන කිහිපයක එකතුවක් තමයි දළ සහිත ඇතෙක් කියලා කියන්නේ. එතකොට අපිට කියන්න බැහැ දළ  සහිත ඇතාගෙන් ලැබෙන පැටියාත් එහෙමම වෙනවා කියල. අපිට දළ සහිත ඇත්තු ඕනෙනම්, සමස්ත ගහනය ඇතුලේ තියෙන ජාන සමූහයම, සමස්ත ගහණයම රැකගන්න ඕනේ.

අවසාන වශයෙන් සමාජය වෙත ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ?

ඇත්තටම මට දෙන්න තියෙන පණිවිඩය මේකයි, අධ්‍යයන වලදී අපි දැකලා තියෙනවා මීට වසර පනස්දහසකට පමණ පෙර මැමත් කියලා අලි ජාතියක් ඉඳල තියෙනවා. අද අපි දකින්නේ මොනවද ඒගොල්ලන්ගේ? චිත්‍රපටි, වීඩියෝ, ඇනිමේෂන්, ෆොටෝ එච්චරයි. ඔවුන් හිටිය බවට සාක්ෂි සහ පොසිල හම්බවෙනවා. මේ වෙද්දී ඔවුන් සමස්ත මිහිතලයෙන්ම නැත්තටම නැති වෙලා ගිහිල්ල තියෙනවා. එතකොට අද අපිට එයාලව සජීවීව නැහැ. එතකොට අපේ මේ ඉන්න වන අලි ඇතුන් සම්පත අපි රැකගන්න කටයුතු නොකලොත් අපේ පරම්පරාව තුළ අප දැක්ක දේ තවත් පරම්පරා දහයක් තුළදී රූපයකින් විතරක් දකින්න වෙනවනම් අපි ලොකු වැරැද්දක් කරලා තියෙනවා නේද?

මොකද අපිට පෙර හිටපු අය අපිට ඒ සතා දකින්න ඕනේ කරන පසුබිම හදලා තියෙනවා. ඒක නිසානේ අපිට ගිහිල්ලා බලන්න, ඡායාරූප ගන්න හැකියාව ලැබිල තියෙන්නේ. එතකොට අපි තව පරම්පරා දහකයකින් විතර ඉපදෙන්න ඉන්න දරුවන්ට ඒ අවස්ථාව ආරක්ෂා කරලා තියන්නේ නැත්තම් අපි පුරවැසියෝ වෙන්න බෑ. ඒ නිසා ඒක අපේ ලොකු වගකීමක්. මේ වගකීම තියෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි. මේ වගකීම සමස්ත රටේ සියලුම පුරවැසියන්ට තියෙනවා. අපේ තියෙන සුවිශේෂි සම්පත් ටික තවත් පරම්පරා දහයකින් එන අයටත් දකින්න, විඳින්න ඕනේ කරන වාතාවරණය හදන්න අපි අද කැපවෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්නේ නැත්තම් අපි හරි ගුණමකුයි. 

මේ පෘතුවිය තුළ ජිවත් වෙන්න අයිතිය තියෙන්නේ මිනිසාට විතරක් නෙමෙයි. ‘වන අලි ගම් වදී ’ කියලනේ අපි පත්තරවල දාන්නේ. ඒත් අවුරුදු සියයක් විතර ආපස්සට ගියොත් ඇත්තටම මිනිස්සු කැළෑ වැදුණු එක වෙලා තියෙන්නේ. අලි ඇතුන්ගේ නිජබිම් මිනිසා විසි සුද්ධ කරලා පාරවල්, සංවර්ධන  ව්‍යාපෘති එහෙම නැත්නම් කෘෂිකාර්මික භුමි බවට පත් වෙලා තියෙන්නේ. එහෙම කරලා ඒ සත්තුන්ට දෝෂාරෝපණය කරනවා ගම්වලට එනවා කියලා. සමහරවිට අලියෙක් පුංචි කාලේ ගිය ප්‍රදේශය වෙන්න පුළුවන් දැන් ගම්මානයක්. ඉතින් ඒ හරහා යන එක නවත්තැන්නේ නෑ එයා. එම නිසා මේ අලි මිනිස් ගැටුම කියන එකට විද්‍යාත්මක ප්‍රවේශයක් තාමත් හරියට නොතිබීම කණගාටුවට කරුණක්.

ඒ වගේම තමයි ඇත් අතුරු සෙවණ කියල එකක් තියෙනවා උඩවලවේ. තුවාල වෙච්ච අලි ඇතුන්ට ප්‍රතිකාර කරන්න. හැබැයි අනුරාධපුර, පොළොන්නරුව පැත්තේ සතෙක් එහෙම ඒකට ගෙනියන්න සැහෙන්න කාලයක් ගතවෙනවා. මන් දන්න විදියට රිටිගල පටන් ගත්තා ඇත් අතුරු සෙවණක්. හැබැයි අවුරුදු පහක් විතර යනකොට ඒක සම්පුර්ණයෙන්ම වැහිලා ගියා. ඒ නිසා මේ හානිවන ඇත් පැටවුන් සුවපත් කරලා නැවත ගහණයට මුදාහරින්න ඇත් අතුරු සෙවනක් අනුරාධපුර පොළොන්නරුව පැත්තට අනිවාර්යෙන්ම ඕනේ. මම දැක්ක රජය විසින් පොළොන්නරුවේ ඇත් අතුරු සෙවණක් හදන්න යනවා කියන එක වචනෙට පමණක් සීමා නොකර ඉතාම ඉක්මනින් ඒක කරන එක තමයි මේ සම්පත සුරැකීම සඳහා කරන්න තියෙන  ප්‍රධානම දේ.

කාවන්තිස්ස ඇත් රජු අපට මතක් කරදෙන්නේ ඔවුන් පිළිබඳ කතා කිරීම පමණක්  නොව, ඔවූන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගෙන, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමත් කෙතරම් වැදගත්ද යන්නයි. 

මිනිසාට මෙන්ම සෑම සත්ත්වයෙකුටම මේ මිහිමත ජීවත් වීමට අයිතිය තිබෙනවා. ඒ ජීවිතවල වටිනාකම හඳුනාගෙන අනාගත පරපුරටත් මේ සොබාදහමේ සුන්දරත්වය දැකගැනීමට ඉඩ සලසා දීම අප සියලු දෙනාගේම වගකීමක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *