පොහොට්ටුවේ දැලි ගාන ඇමති චන්ද්‍රසේනගේ වැඩ ගැන නායකයෝ කණස්සල්ලෙන්

පරිසර ඇමති වශයෙන් තම විෂය පථයට ඉඳුරාම පටහැනි ක්‍රියා සිදුකිරීම හේතුවෙන් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වී ඇති චරිතයකි. ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචන රැසක් එල්ල වෙමින් පවතින අතර එය ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නව රජයේ කීර්තිනාමයට බරපතල හානිකර තත්වයකට පත්වී තිබේ.

එකිනෙක ගැටෙන විෂය පථයන් දෙකක් වන පරිසර ඇමතිකම සහ ඉඩම් ඇමතිකම එස්. එම්. චන්ද්‍රසේන වැනි පුද්ගලයෙකුට ලබා දීම බරපතල වරදක් බවත්, පරිසර ඇමතිකම සංරක්ෂණ විෂයක් නිසා එස්. එම්. චන්ද්‍රසේනට එය වටහා ගැනීමට තරම් දැනුමක් නොමැති බවත්, එබැවින් සියල්ල අවුල් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අතර කතාබහට ලක්ව තිබේ.

පරිසර ඇමති එස්. එම්. චන්ද්‍රසේනගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා මීළඟ මහ මැතිවරණයේදී පරිසර ප්‍රශ්න පිළිබඳව සංවේදී පුරවැසියන් බහුතරයකගෙන් සමන්විත පාවෙන චන්ද පදනමෙන් විශාල කොටසක් පොහොට්ටුවෙන් ගැලවී යෑමට ඉඩ ඇති බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය චන්ද සහ මනාප තමන් සතු කරගැනීම උදෙසා එස්. එම්. චන්ද්‍රසේන ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරමින් සිටින බවත්, ඔහුගේ මෙම පටු දැක්මක් සහිත ක්‍රියා කලාපය නිසා වැඩිම අවාසියක් සිදු වන්නේ නාගරික ප්‍රදේශ වලින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන පොහොට්ටු අපේක්ෂකයින්ට බවත් ඔවුහු සාකච්චා කොට තිබේ.

තුනෙන් දෙකක බහුතරයක් බලාපොරොත්තුවෙන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මීළඟ මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරඟ කිරීමට අපේක්ෂා කළත්, එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයා සියල්ල අවුල් කරමින් සිටින බවත් ඔවුහු පවසති.

එමෙන්ම, පසුගිය ජනපතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා ගොඩනගාගෙන තිබූ කීර්ති නාමය පවා චන්ද්‍රසේනගේ නොමනා ක්‍රියා කලාපය නිසා හානි වී තිබෙන බවත්, ඊයේ (27) ගාලු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා විසින් පරිසරයට අහිතකර කටුපොල් වගාව තහනම් කිරීමට ගත් සුබවාදී තීරණය පවා සමාජ මාධ්‍ය වල වැඩි අවධානයක් දිනා ගැනීමට නොහැකි වූයේ එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයා විල්පත්තු ප්‍රේරක කලාපයේ කෝමාරිකා වගාවකට අනුබල දීමේ සිද්ධිය සමාජ ජාල ඔස්සේ ලැව් ගින්නක් මෙන් පැතිරගිය නිසා බවත් පොහොට්ටුවේ ප්‍රභලයින් අතර කතාබහට ලක්ව තිබේ.

පොහොට්ටුවේ දේශපාලකයින් පමණක් නොව පාක්ෂිකයින්ද මේ හේතුවෙන් සමාජ ජාල තුල උසුළු විසුළු වලට දැඩි ලෙස භාජනය වී තිබෙනු දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *