
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින උග්‍ර ගැටලුවලට සහ සේවක ඉල්ලීම්වලට වසර දෙකක් තිස්සේ විසඳුම් ලබා නොදීමට එරෙහිව හෙට (10) දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ප්‍රකාශ කරති.
අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ අවධාරණය කළේ, රජය හෙට පැවැත්වෙන විරෝධතාවය දැඩි අනතුරු ඇඟවීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් අවම වශයෙන් සියයට 5කවත් මුදලක් වෙන් නොකළහොත් ඉදිරියේදී සටන් ක්‍රියාමාර්ග දෙගුණ තෙගුණ කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත්ය.
රෝහල් පද්ධතිය තුළ පවතින බරපතළ බිඳවැටීම පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් සුගතානන්ද හිමියෝ පෙන්වා දුන්නේ, සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු 6,000කට වැඩි සංඛ්‍යාවක් පවතින බැවින් සාමාන්‍ය සේවාවන් පවා ඇණහිට ඇති බවයි. ප්‍රතිපාදන හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 5ක් නොමැති බවත්, ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම නිසා සහ බෙහෙත් පිටතින් ලබාගැනීමට සිදුවීමෙන් රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ. සේවක හිඟය හේතුවෙන් ශල්‍යකර්ම කල්දැමීමට සිදුව ඇති අතර, රෝගීන්ගේ ඥාතීන්ටම ට්‍රොලි තල්ලු කරගෙන පරීක්ෂණාගාර වෙත යාමට සිදුව ඇති බවද හෙළි විය.
එසේම, සේවකයින් පැය 48ක සේවා මුරයක යෙදුණද ඊට අදාළ දීමනා නොලැබෙන බවත්, වැටුප් වැඩිවීම් 2027 දක්වා කල්දමමින් ආණ්ඩුව ජනතාවට “තුන් තේරවිල්ලක්” ඉදිරිපත් කරමින් පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් නොදී අයවැය සම්මත කරගැනීමට සූදානම් වන බවත් සංගමය චෝදනා කරයි.
විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් වෘත්තීයවේදීන් දඩයම් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට චෝදනා කළ උන්වහන්සේ, ජනතාව පිට පටවා ඇති VAT බද්ද වහාම බිංදුව දක්වා අඩු කළ යුතු බවද අවධාරණය කළහ.