විල්පත්තු ප්‍රේරණ කලාපය මේ වන විටත් කපමින් පවතිනවා – ආනන්දසාගර හිමි

රාජාංගණය, යාය 18 ප්‍රදේශයෙන් ප්‍රවේශ වීමට ඇති විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය මේ වනවිටත් විශාල විනාශයකට ලක්කරමින් කෝමාරිකා ව්‍යාපෘතියක් සඳහා වැවක් සහ වැව් බැම්මක් ඉදිකරමින් පවතින බව පාහියංගල ආනන්දසාගර හිමි පවසයි. 

“විශේෂයෙන්ම අද දවසේදී අපි යාය 18, රාජාංගණය ඒරියා එකෙන් ඇතුළු වෙන්න තියෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට ගියා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ වැවක් සහ වැව් බැම්මක් සැදීම සඳහා මේ වනකොට විශාල ප්‍රමාණයේ ශුද්ධ කිරීම් සහ කැපීම්, ඩෝසර් තුන හතරක් දාගෙන පස් කැපීම් සිද්ධ වෙනවා.

වනජීවී එකෙන් හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ එහෙම නැත්නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ පරිසර අමාත්‍යාංශයෙන් හෝ කිසිදු අවසරයක් අරගෙන නෑ මේ කිසිදු ව්‍යාපෘතියකට. විල්පත්තුවේ ප්‍රේරණ කලාපය මේ වනවිට විනාශ කරමින් පවතිනවා” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ. 

පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මේ බව පැවසුවේ කෝමාරිකා වගාවක් සඳහා බව කියමින් විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයෙහි සිදු කෙරෙන වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ (28) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. 

කෙසේ වුවද, පරිසර හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ද ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එවැනි කිසිම ව්‍යාපෘතියකට තමන් විල්පත්තු ජාතික වනෝද්‍යනයෙන් එක් බිම් අඟලක් හෝ ලබාදී නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ කෝමාරිකා වගා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කරන බවත් එය පසුගිය රජයෙන් ආරම්භ කළ එකක් බවත්ය.

ව්‍යාපෘතිය සිදුකරන ආයෝජකයා තමන්ට නිරීක්ෂණ චාරිකාවකට ආරධනා කළ බවත් එය අනුරාධපුරයට ගැලපෙන ව්‍යාපෘතියක් බවත් ඒ මහතා පැවසීය.

තමන් එම ආයෝජකයාට ගොවිජනයා සමබන්ධකර දීමට පොරොන්දු වු බවත් ඒ මහතා පැවසීය.

එය ඩොලර් මිලයන 370ක ව්‍යාපෘතියක් බවත් අමෙරිකාවේ ව්‍යාපාර කරන තරුණයෙක් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තමන් ඔහුට උදව් කළ හැකි බව පැවසු බවත් කිසිදු විටෙක විල්පත්තුවේ එක බිම් අඟලක් හෝ තමන් නොදුන් බවත් ඒ මහතා කියා සිටියේය.

තම පක්ෂයේම ඇතැම් පුද්ගලයින් විසින් මෙම බොරු ප්‍රචාර තමන්ට මඩ ගැසීමට සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *