
Covid-19 වසංගතය හමුවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද නව නිපැයුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය සඳහා හඳුන්වා දීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2021 සැප්තැම්බර් 21 වන දින, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් පරිශ්‍රයේදි පැවැත්විණි.
කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍ය ශෂික ආරියරත්න මහතා විසින් නිර්මාණය කරනු ලැබූ “ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතියොමු කිරීමේ හා හරණය කිරීමේ උපකරණ”, වෛද්‍ය ක්ෂේත්‍රයේදී රෝගීන් සඳහා කෘතීම ස්වසන ආධාරක උපකරණ භාවිතා කිරීමේදී රෝගීන්ගෙන් පිටවන ප්‍රාශ්වාස වාතයේ රැඳී ඇති ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වීම හේතුවෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩල අවධානමට ලක්වීම අවම කිරීම සඳහා නිර්මාණය කර තිබේ.
මෙම උපකරණ මගින් කෘතීම ස්වසන ආධාරක උපකරණ රෝගියාට සම්බන්ධ කිරීමෙන් පසු, ඒ තුලින් සංසරණය වන වායුවෙහි ඇති ක්ෂුද්‍ර ජීවීන් හරණය වීම, ආරක්ෂණික තාක්ෂණ උපක්‍රම කිහිප ආකාරයක්ම යොදාගනිමින් සිදුවන ලෙස නිර්මාණය කර ඇති අතර සාපේක්ෂව මෙය අඩු මුදලකින් නිපදවීමට හැකිවීමද විශේෂත්වයකි. එකිනෙකට වෙනස් යෙදවුම් සඳහා මෙන්ම විවිධ ධාරිතාවයේ රෝහල් සඳහා යෝග්‍ය වන පරිදි නිපදවා ඇති මෙම වෛද්‍ය උපකරණ සඳහා සුහුරු තාක්ෂණික ක්‍රමවේදයන් යොදවාගෙන තිබේ.
තාක්ෂණික හා පර්යේෂණ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා නවනිපයුම්කරුවන්ගේ කොමිසමෙහි මඟපෙන්වීම හා උපකාර මත මෙම නවනිර්මාණ අංක 21037 යටතේ ශ්‍රී ලංකා පේටන්ට් බලපත්‍රයද ලබාගනිමින්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වෙතින් ඉදිරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අච්චු සැකසීමද සිදුකර, ජාතික කාර්මික තාක්ෂණ ආයතනය මගින් පර්යේෂණ කරවා සාර්ථක ප්‍රථිපල ද සහතික කර තිබේ. තවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙම නිර්මාණ සඳහා වෛද්‍ය නිෂ්පාදනයක් ලෙස ලියාපදිංචි අවසරයද ලබාදී ඇති අතර මෙම නිපැයුම් වල සාධනීයත්වය පිළිබඳව රජයේ රෝහල් කිහිපයකම මේ වන විටත් ක්‍රියාකාරී මූලාදර්ශ භාවිතයෙන් අධ්‍යයනයන් සිදුකෙරෙමින් පවතී.
වර්තමානයේ පවතින කොරෝන වසංගත තත්වය පමණක් නොව ඉදිරියේදී ඇතිවිය හැකි වෙනත් වසංගත තත්වයකදී වුවද මෙම නව නිර්මාණය භාවිතයෙන් අවධානම අවම කරගැනීමේ හැකියාවද පැවතීම නිසාම මෙම උපකරණ වඩාත් සුවිශේෂී වේ.
මෙම නව නිපැයුම් වල තවත් සුවිශේෂිත්වයක් වන්නේ ශ්‍රී ලංකාව තුල නිපදවන රජයේ අනුමැතිය ලත් ප්‍රථම වෛද්‍ය උපකරණය වෛද්‍ය ශෂික ආරියරත්න මහතා විසින් නිර්මාණය කරනු ලැබූ මෙම වෛද්‍ය උපකරණය වීමය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස් සිරිමුතු මහතා, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නියෝජ්‍ය කොමසාරින් මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය, අධ්‍යක්ෂ එන්.බී දොලවත්ත මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය නිළධාරීන්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්, නිර්වින්දන වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතන නිළධාරින් ඇතුඵ පිරිසක් සහභාගී විය.





