වන අලි තර්ජන අතුළු බාධක පරදා ඇහැටුවැවෙන් බිහිවූ දිවයිනේ ප්‍රථමයා

2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබා ගනිමින් සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කුරුණෑගල, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂණ වීරසේකර සිසුවා සමත්ව තිබේ. ධනෝෂ්ගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය හුදෙක් අධ්‍යාපනික දක්ෂතාවයක් පමණක් නොව, දෛවය විසින් ඔහු හමුවේ තැබූ අසීරුතම අභියෝග රැසක් පරාජය කිරීමේ ප්‍රතිඵලයකි.

ඇහැටුවැව, හුණුගල්ලෑව වැනි වන අලි තර්ජන බහුල අතිශය දුෂ්කර ගම්මානයක ජීවත් වන ධනෝෂ්ට පාසල් ගමන පවා සිදුවූයේ දැඩි අවදානමක් මධ්‍යයේය. මෑතකදී උසස් පෙළ සිසුවෙකු පවා අනතුරට ලක්කළ “කාවන්තිස්ස” සහ “රට්ඨ” වැනි වන අලි සැරිසරන ඉසව්වක සිට ඔහු සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන ගියේය. වන අලි උවදුරට අමතරව ඔහුට උපතින්ම හදවතේ සිදුරු දෙකක් පැවති අතර, මීට වසර කිහිපයකට පෙර සිය ආදරණීය මවගේ සෙවණද ඔහුට අහිමි විය.

“මට මේ ජයග්‍රහණය ලබා ගන්න මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා, පන්ති භාර ටීචර් ඇතුළු හැමෝම උදව් කළා. මගේ තාත්තා සහ අක්කා මගේ ශක්තිය වුණා. මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙලා රටට සේවයක් කිරීමයි.” – ධනෝෂ් තීක්ෂණ.

ධනෝෂ්ගේ ජයග්‍රහණයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔහු කිසිදු අමතර උපකාරක පන්තියකට (Tuition) සහභාගී නොවී මෙම විශිෂ්ට ප්‍රතිඵලය ලබා ගැනීමයි. සිය පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ මඟපෙන්වීම පමණක් අකුරටම පිළිපැදි ඔහු, සිය පියාට ගොවිතැන් කටයුතුවලට සහය වීමටද අමතක නොකළේය. විභාග ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේදී පවා ඔහු පසුවූයේ හේනේ ගලක් මත වාඩි වී වගා පාලු කරන මොනරුන් එළවමින් සිටියදී වීම විශේෂත්වයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *