කාවන්තිස්ස ඇතාගේ වියෝව පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි පෞරුෂවත්ම හා විශාලතම දළ ඇතුන් අතර ප්‍රමුඛයෙකු වූ “කාවන්තිස්ස” ඇතාගේ මරණය, ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙන්ම වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

2026 ඔක්තෝබර් 21 දිනැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ අත්සනින් යුතුව කථානායකවරයා වෙත මෙම යෝජනාව බාරදී ඇත.

අනුරාධපුරය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ගල්ගමුව සහ උස්ගල සියඹලංගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් වසර ගණනාවක් සැරිසැරූ කාවන්තිස්ස ඇතා, වෙඩි වැදීමකින් සිදු වූ බවට සැකකෙරෙන බරපතළ තුවාලයකට ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඔක්තෝබර් 16 වන දින ජීවිතක්ෂයට පත් විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 24 වන දින සිට ඇතාට ප්‍රතිකාර ලබා දුන් බව එහි සඳහන් වේ.

කාවන්තිස්ස ඇතාගේ ශරීරයේ වෙඩි වැදුණු තුවාල පවතින බවත්, එම සත්ත්වයා ඇතුළු කලාපයේ වන අලින් දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇති බවටත් 2025 වසරේ සිටම පරිසරවේදීන් මෙන්ම මාධ්‍ය මගින් අඛණ්ඩව අනතුරු අඟවා තිබූ බව මෙම යෝජනාව මගින් පෙන්වා දෙයි. එසේ තිබියදීත් සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් පැවැත්වීම කෙරෙහි මහජනතාවගේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙරට වනජීවී කළමනාකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට ද එය හේතු වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථාව යටතේ සම්පාදිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 100 වන ස්ථාවර නියෝගය ප්‍රකාරව පත් කිරීමට යෝජිත මෙම විශේෂ කාරක සභාවට ප්‍රධාන විමර්ශන ක්ෂේත්‍ර ගණනාවක් පැවරීමට නියමිතය:

  • මරණයට හේතු සහ සෞඛ්‍ය සාධක: කාවන්තිස්ස ඇතාගේ මරණයට බලපෑ ක්ෂණික සහ දීර්ඝකාලීන හේතු, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සොයාගැනීම්, සෞඛ්‍යමය හා පරිසර පද්ධතිමය සාධක විමර්ශනය කිරීම.
  • නීතිවිරෝධී ගිනිඅවි භාවිතය: ඇතාට වෙඩි තැබීමට නීතිවිරෝධී ගිනිඅවි හෝ බඳින තුවක්කු (ඇටවූ තුවක්කු) භාවිත කර ඇත්ද යන්න සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග සොයා බැලීම.
  • බලධාරීන්ගේ මැදිහත්වීම සහ ප්‍රමාණවත්භාවය: 2025 වසරේ සිට වාර්තා වූ අනතුරු ඇඟවීම් හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය නිලධාරීන්, අදාළ අමාත්‍යාංශය සහ පොලිසිය ඇතුළු ආයතන ගත් හෝ නොගත් ක්‍රියාමාර්ගවල ප්‍රමාණවත්භාවය.
  • හදිසි ප්‍රතිකාර යාන්ත්‍රණය: ලබා දුන් වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රමාණවත්භාවය සහ ආබාධිත වන අලින් සඳහා වන හදිසි ප්‍රතිකාර හා මුදාගැනීමේ යාන්ත්‍රණවල සූදානම ඇගයීම.
  • නීති බලාත්මක කිරීම සහ සම්පත් භාවිතය: වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, ජාතික පාරිසරික පනත සහ ගිනි අවි ආඥාපනත ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇති අතපසුවීම් මෙන්ම අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වෙන් කෙරෙන මහජන මුදල් නිසි ලෙස භාවිත වී ඇත්දැයි සොයා බැලීම.
  • වාසස්ථාන හා අලි කොරිඩෝ අහිමිවීම: සංක්‍රමණික මාර්ග සහ වාසස්ථාන අහිමිවීමට බලපෑ ඉඩම් භාවිත තීරණ අධ්‍යයනය කර, මෙරට ශේෂව සිටින දළ ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ප්‍රතිපත්තිමය හා නෛතික ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම.

යෝජනාවට අනුව, මෙම කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය වන පරිදි කථානායකවරයා විසින් සම සභාපතිවරුන් දෙදෙනෙකු පත් කළ යුතුය. එමෙන්ම සාක්ෂි කැඳවීමට, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළු ලිපිලේඛන පරීක්ෂා කිරීමට, ස්ථානීය නිරීක්ෂණ සිදු කිරීමට මෙන්ම දේශීය හා විදේශීය පශු වෛද්‍ය, පරිසර නීති සහ බැලිස්ටික් (Ballistics) විශේෂඥ සහාය ලබා ගැනීමට ද කාරක සභාවට බලතල හිමි වේ.

පාර්ලිමේන්තුව වාරාවසාන කර හෝ කල් තබා තිබුණ ද සිය විමර්ශන කරගෙන යාමේ හැකියාව මෙම කාරක සභාව සතු වන අතර, එහි පළමු රැස්වීම පවත්වා මාස තුනක් (03) ඇතුළත අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද යෝජනා කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *