
එක්සත් ජනපදයේ දෙවන විශාලතම නගරය වන ලොස් ඇන්ජලීස් හි පැවති තියුණු නගරාධිපතිවරණ සටනින්, වත්මන් නගරාධිපතිණී කැරන් බාස් (Karen Bass) අභිබවා ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඩිමොක්රටික් සමාජවාදී පාක්ෂික නිත්‍යා රාමන් (Nithya Raman) සමත්ව තිබේ.
ගණන් කරන ලද ඡන්ද ප්‍රතිශතයෙන් 52% ඉක්මවූ ජනවරමක් දිනාගත් නිත්‍යා රාමන්, ලොස් ඇන්ජලීස් නගර ඉතිහාසයේ එම ධුරයට පත්වූ ප්‍රථම දකුණු ආසියාතික මෙන්ම ඉන්දීය සම්භවයක් සහිත කාන්තාව ලෙස වාර්තා අතරට එක්වන්නීය.
නිත්‍යා රාමන් පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්:
- උපත හා මූලාරම්භය: 1981 වසරේදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිශූර් හි දෙමළ පවුලක උපත ලැබූ ඇය, වයස අවුරුදු 6 දී දෙමාපියන් සමඟ එක්සත් ජනපදය වෙත සංක්‍රමණය විය.
- විශිෂ්ට අධ්‍යාපනික පසුබිම: ඇය ලොව සුප්‍රකට හාවඩ් විශ්වවිද්‍යාලයෙන් (Harvard University) සමාජ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ එම්.අයි.ටී. ආයතනයෙන් (MIT) නාගරික සැලසුම්කරණය (Urban Planning) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගෙන ඇති වෘත්තීය නාගරික සැලසුම් ශිල්පිනියකි.
- මහජන සේවය සහ සමාජ ක්‍රියාකාරිත්වය: අමෙරිකාවට පමණක් සීමා නොවී, ඉන්දියාවේ චෙන්නායි නගරයේ සනීපාරක්ෂක හා නාගරික පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ‘Transparent Chennai’ නම් සංවිධානය ආරම්භ කළ ඇය, ලොස් ඇන්ජලීස් හි නිවාස අහිමි ජනතාව වෙනුවෙන් හඬක් නැගූ ප්රමුඛ ක්‍රියාකාරිනියකි.
- දේශපාලන ගමන්මග: 2020 දී ප්‍රථම වරට ලොස් ඇන්ජලීස් නගර සභාවට තේරී පත්වූ ඇය, ‘ඇමරිකාවේ ඩිමොක්රටික් සමාජවාදීන්’ (DSA) සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක ලෙස දැරිය හැකි නිවාස, කුලී පාලනය සහ පරිසර සාධාරණත්වය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියාය.
ඇමරිකාවේ බල කේන්ද්‍ර දෙකම ඉන්දීය සම්භවයක් සහිත ප්රගතිශීලීන්ට
නිත්‍යා රාමන්ගේ මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟ ඇමරිකානු දේශපාලනයේ පෙර නොවූ විරූ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් වේ. එක්සත් ජනපදයේ ප්‍රධානතම මෙන්ම ජනගහනයෙන් වැඩිම නගර දෙක වන නිව් යෝර්ක් (New York) සහ ලොස් ඇන්ජලීස් (Los Angeles) යන නගර ද්විත්වයේම නගරාධිපති ධුරයන් එකවර ඉන්දීය සම්භවයක් සහිත නායකයන් දෙදෙනෙකුට හිමිවීම මෙහි ඇති විශේෂත්වයයි.
නිව් යෝර්ක් නගරාධිපති සොරාන් මම්දානි (Zohran Mamdani) මෙන්ම ලොස් ඇන්ජලීස් නව නගරාධිපතිනිය වන නිත්‍යා රාමන් යන දෙදෙනාම ඉන්දීය සබඳතා ඇති, ‘ඇමරිකාවේ ඩිමොක්රටික් සමාජවාදීන්’ (Democratic Socialists of America) ව්‍යාපාරය නියෝජනය කරන ප්රගතිශීලී නායකයින් වීම ඇමරිකානු නාගරික දේශපාලනයේ වාමාංශික රැල්ලක ප්‍රබල පිබිදීමක් සනිටුහන් කරයි.
මැතිවරණ ජයග්රහණයෙන් පසු අදහස් දැක්වූ නව නගරාධිපතිනිය ප්‍රකාශ කළේ නගරයේ පවතින නිවාස අර්බුදය, ජීවන වියදම සහ මහජන ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙමින් සියලු වැසියන්ට සමාන අයිතිවාසිකම් හිමිවන නගරයක් ගොඩනැගීමට තමන් කැපවන බවයි.