කාවන්තිස්සට යුක්තිය ඉල්ලා දිවයින පුරා පුදබිම්වලදී අද මහා දේව කන්නලව්වක්

අභිරහස් සහ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය ඉටු කරන ලෙසත්, එම සාපරාධී ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් පමුණුවන ලෙසත් බලකරමින් දිවයින පුරා ප්‍රධාන සිද්ධස්ථාන රැසකදී අද (11) පෙරවරුවේ මහා දේව කන්නලව් සහ පොල් ගැසීමේ වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

‘යුතුකමේ අඬහැරය’ සංවිධානයේ මැදිහත්වීම සහ ඉල්ලීම මත සංවිධානය වූ මෙම විශේෂ ආගමික ක්‍රියාන්විතය, අද දිනට යෙදී තිබූ විශේෂිත වේලාවක් වන පෙරවරු 11.11 ට දිවයින පුරා විසිරී සිටින පරිසරවේදීන්, සත්ත්ව ලෝලීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහභාගීත්වයෙන් සමගාමීව ආරම්භ කෙරිණි.

වනජීවී සම්පත රැකගැනීම වෙනුවෙන් හඬ නඟන පාර්ශ්ව රැසක් එක්ව පැවැත්වූ මෙම යාතිකා හා පොල් ගැසීමේ පුද පූජාවන් පහත ප්‍රධාන දේවාල හා කෝවිල් පරිශ්‍රයන්හිදී අතිමහත් ජනතා සහභාගීත්වයෙන් පැවැත්විණි:

  • ඓතිහාසික කුරුණෑගල ඇතුගල්පුර ගලේ බණ්ඩාර දේවාලය
  • හලාවත මුන්නේශ්වරම් පුදබිම
  • සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය
  • කඩවර දේවාලය
  • මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර කෝවිල
  • වැල්ලවත්ත ශ්‍රී මයුරපති අම්මාන් කෝවිල
  • කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථ දේවාලය
  • නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලය
  • පානදුර කෝවිල් පරිශ්‍රය

මෙහිදී පුදබිම් වෙත රැස්වූ ජනතාව කියා සිටියේ, අහිංසක වන සතුන් මිනිස් කෲරත්වයට බිලිවීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කඩිනමින් මේ පිළිබඳ පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත්ය.

ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයක් බඳු වූ කාවන්තිස්ස ඇතුගේ ඝාතනයට වගකිවයුතු කිසිවෙකුටත් සොබාදහමේ සහ දෙවියන්ගේ දඬුවමෙන් ගැලවීමට නොහැකි වනු ඇතැයි අවධාරණය කරමින්, අදාළ සිද්ධස්ථාන ඉදිරිපිටදී පොල් ගසා ශාප කිරීම හා දෙවියන්ට කන්නලව් කිරීම මෙහිදී සිදු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *