බිය සැක නැතිව ලංකාවේ ආයෝජනය කරන්න – මන්ත්‍රී රන්වල ජපන් බසින්ම ජපනුන්ට කියයි.

කිසිදු බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කථානායක අශෝක රන්වල මහතා ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉකුත් නොවැම්බර් 14 වැනිදා බලපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු ‘හුනාස් රිවර්’ (Hunas River) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජපන් ආයෝජන යටතේ ඉදිකර ඇති මෙම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ජපානයේ ආයෝජකයන් පිරිසක් සහ දේශීය ව්‍යාපාරිකයෝ රැසක් සහභාගී වී සිටියහ. මෙහිදී අශෝක රන්වල මහතා ජපන් භාෂාවෙන්ම සිය දේශනය පැවැත්වීම පැමිණ සිටි ජපන් ආයෝජකයන්ගේ දැඩි අවධානයට හා ප්‍රසාදයට ලක්විය.

උත්සව සභාව අමතමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය පාලන සමයන්හිදී විදෙස් ආයෝජකයන්ට විවිධ අකටයුතුකම් සහ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බවයි. ඇතැම් ආයෝජකයන්ට සිය මුදල් අහිමි වීම සහ නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවීම සම්බන්ධයෙන් රටක් ලෙස කනගාටු වන බවද ඔහු පැවසීය.

“වර්තමාන රජය යටතේ විදෙස් ආයෝජකයන්ට එරෙහිව සිදුවන සියලු අකටයුතුකම් වැළැක්වීමට අවශ්‍ය නෛතික පියවර ගෙන තිබෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන සෑම යෙන් එකකටම නිසි වටිනාකමක් සහ ආරක්ෂාවක් ලබා දීමට අප කටයුතු කරනවා.”

කලින් පැවති ඇතැම් අවස්ථාවලදී මෙන් දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට සන්තෝසම් හෝ අල්ලස් ලබා දීමට ආයෝජකයන්ට තවදුරටත් සිදු නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එවැනි අල්ලස් ලබා ගන්නා ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මෙරට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පූර්ණ බලය ඇති බවද ඔහු සඳහන් කළේය.

ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නීති රීති වෙනස් කිරීමට අමතරව බැංකු ක්ෂේත්‍රය ඇතුළු රාජ්‍ය ආයතනවල ව්‍යූහාත්මක පරිවර්තනයන් සිදුකළ යුතු බව රජය පිළිගන්නා බවත්, යල් පැනගිය ක්‍රමවේද වෙනස් කරමින් කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ මන්ත්‍රීවරයා, නව රජයේ විනිවිදභාවය සහ යහපාලන ප්‍රතිපත්ති කෙරෙහි ජපන් ආයෝජකයන් තබා ඇති විශ්වාසය අගය කරන බවත්, මෙම නව ව්‍යාපෘතිය දෙරට අතර මිත්‍රත්වය හා සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කරන පාලමක් වනු ඇති බවත් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *