විල්පත්තු නඩු තීන්දුව කල් යයි. විනිසුරු මඩුල්ල වාඩි නොවෙයි.

විල්පත්තු උතුරු පෙදෙසේ රක්ෂිත වනාන්තර අක්කර දහස් ගණනක් හෙළි කරමින් අනවසර ජනාවාස ඉදිකිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අහියාචනාධිකරණය හමුවේ ගොනු කළ “CA writ 291/15” අංක දරන රීට් පෙත්සම සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා 2020 ජුලි මස 31 වන දිනට දින නියම කරන බව අභියාචනාධිකරණය පසුගිය ජූනි 24 වන දින පැවසීය.

කෙසේ වුවද තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ ඊයේ (ජූලි 31) දින පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් සහ පරිසර සංවිධාන නියෝජිතයින් අභියාචනාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියද එදින තීන්දුව ප්‍රකාශ කිරීම සිදු නොවන බවද, තීන්දුව ප්‍රකාශ කරන දිනයක් දැනුම් නොදුන් බවද පැවසේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද මෙම පෙත්සම විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙවන වරට විභාග කරන ලදි. 

මෙම පෙත්සම විභාග කිරීම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අවසන් කොට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, මෙම පෙත්සම එවර විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමාවවර්ධන සිය තීන්දුව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පෙත්සම නැවත නව විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ විය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු කිහිප දෙනෙකු නම් කර තිබේ.

විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර හෙළි කිරීම සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයින් නැවත පදිංචි කිරීම විශාල පාරිසරික විනාශයකට හේතු වී ඇති බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් 2015 දී පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර වනාන්තර රක්ෂිත ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස නැවත පදිංචි කිරීම ඉවත් කරන ලෙස රිට් ඔෆ් සර්ටියෝරාරි සහ මැන්ඩාමුස් නියෝගයක් ඉල්ලා සිටියේය.

විල්පත්තු වන විනාශයට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික නායකයින් ප්‍රමුඛ පුරවැසියන්ගෙන් විශාල විරෝධයක් එල්ලවූ අතර පරිසර සංරක්ෂණය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

මෙම නඩුව වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාගේ මෙහෙය වීමෙන්, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් පෙත්සම්කාර පැමිණිලි පාර්ශවය නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *