
ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධානියෙකු ඇතුළු පිරිසක් ඊයේ (14) රාත්‍රී 07.00 ට පමණ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster නමැති විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපළ හරහා කොළඹට පැමිණ තිබේ.
දිවයිනට පැමිණි එම පිරිස කටුනායක සිට පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12 කින් ඊයේ රාත්‍රියේ කොළඹ බලා රැගෙන ගොස් ඇත. එම කාලසීමාව තුළ සාමාන්‍ය ජනයාට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඇතුලුවීමට අවස්ථාව නොදුන් බවත්, විදේශ ධූත පිරිස සහ ඔවුන් ගුවන් යානා වල ගෙන ආවේ යැයි සැක කෙරෙන භාණ්ඩ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දක්වා දැඩි ආරක්ෂාවක් යටතේ රැගෙන ආ බව ආරංචිමාර්ග පවසයි.

මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ ග්‍රීසියේ සිටය. ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 77000 ක් රැගෙන යා හැකි මෙම යානා ඇමරිකානු හමුදාව විසින් යුධ උපකරණ ප්‍රවාහනය සඳහා යොදා ගැනේ.
එම ධුත පිරිස ශ්‍රි ලංකාවේ ජනාධිපති ඇතුළු ධුත පිරිසක් සමඟ කොළඹ දී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී ඉන්දීය සාගර කලාපයේ චීන ආධිපත්‍යයට එරෙහිව ඉන්දු-ඇමරිකානු උපායමාර්ගික සැලසුමට අනුව ත්‍රිකුණාමල වරාය ඉන්දු-ඇමරිකානු ඒකාබද්ධ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි එම අභ්‍යන්තර දේශපාලනික ආරංචිමාර්ග සඳහන් කරයි. එය ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපදයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ සහ චීන සංවර්ධන ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රීයාත්මක වීමේ තීරණාත්මක අංගයක් ලෙස ස්ථාපිත කෙරෙනු ඇත.

අප වෙත ලැබී ඇති අභ්‍යන්තර දේශපාලන තොරතුරු අනුව මීට පෙර ඉතා කෙටි කාලයක් තුල දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඇයගේ සංචාරයට පෙර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු ඉන්දීය රජයේ ප්‍රධාන නිලධාරීන් හමුවී ඉන්දීය සාගර කලාපය සඳහා භූ දේශපාලනික උපායමාර්ගික සැලැස්මක් පිළිබඳවත්, ත්‍රිකුණාමල වරායේ ඉන්දු-ඇමරිකානු ඒකාබද්ධ හමුදා කඳවුරක් පිහිටුවා බෙංගාල බොක්ක ආශ්‍රිතව චීන උපායමාර්ගික සැලසුම් වලට එරෙහිව එක්ව කටයුතු කිරීමේ වරදගත්කම පිළිබඳ සාකච්ඡා කර තිබේ.
එම යෝජනාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය කැමති වුවහොත්, 2017 වර්ෂයේ හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීනයට බදු දුන් ආකාරයෙන්ම ත්‍රික්‍රණාමල වරාය ඇමරිකාවට පැවරෙනු ඇත. එය එලෙස සිදුවුවහොත් ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ භූ දේශපාලනික සීතල යුද්ධයට මැදිව පොඩිපට්ටම් වී යනු ඇත.
