පරිසර යුක්ති කේන්ද්‍රයේ සටනින් නාකොළගනේ අභය භූමියක් වෙයි

සන්නසකින් බලෙන් අල්ලාගෙන සිටි නාකොළගනේ වනපෙතට යුක්තිය ඉටුවේ!

සවනි ශේශාධි | ටයිම්ස් ඔෆ් ලංකා

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එළි කරනු ලැබ ඇති හෙක්ටයාර පනස් පහක ඉඩම් ප්‍රමාණයක්ද සහිත අවශේෂ කැලෑ කොටස් ඇතුළත් සම්පූර්ණ ප්‍රදේශයක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභයභූමියක් ලෙස හෝ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කෙරුණේ 2026 වසරේ මැයි 6 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කළ නඩුවකට අදාළවය.

එකී නඩුවේ නියෝගයට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයක් මගින් හෙක්ටයාර 682 ක ඉඩම් ප්‍රමාණයක් වන ජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි, කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාවය ඇතිව ඒ ආසන්නයේ පිහිටි පාළු කඩවල වැවෙහි උපරිම ජලසීමාවද ඇතුළත් කරමින් එකී හෙක්ටයාර 682ක භූමි ප්‍රදේශය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන පරිදි ‘නාකොළගනේ අභය භූමිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය හිමි වූ බවට ඊයේ (2026 ඔක්තෝම්බර් 13) ප්‍රකාශ කෙරිණි.

“කාලයක් තිස්සේ වනාන්තරව පැවැති ඉඩම් අක්කර 1500කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික භෝග වගාවන්, ඛනිජ කැණීම් සහ පස් කැපීම් වැනි කාර්යයන් සඳහා යොදාගෙන තිබිණි. එහිදී සිදු කරනු ලැබ ඇති කැලෑ එළි කිරීම් හේතුවෙන් පාරිසරික හානි සිදුවී ඇති බවත්, වයඹ පළාතේ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවත් දක්වමින් එම ක්‍රියාවන් අත්හිටුවන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස එළි කරනු ලැබ ඇති හෙක්ටයාර පනස් පහක (55) ඉඩම් ප්‍රමාණය ඇතුළත්ව අවශේෂ කැලෑ කොටස් ඇතුලත් සම්පූර්ණ ප්‍රදේශය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 (2) වගන්තිය යටතේ අභය භූමියක් ලෙස හෝ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවට නියෝග කර තිබේ.” යනුවෙන් කැබිනට් තීරණවල දැක්වේ.

එහෙත් ප්‍රකාශයට පත් කළ කැබිනට් තීන්දුවේ, සත්‍ය යම් තරමින් වසන් කොට ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ‘ටයිම්ස් ඔෆ් ලංකා’ වෙබ් අඩවිය කළ විමසීමේදී පැවසීය.

නාකොළගනේ වනපෙත බිලිගත් විහාරාධිපති

“මේ නාකොළගනේ වනාන්තර කොටස පන්සලකට අයිතියි කියලා බලෙන් අල්ලගෙන හිටියා කියන කාරණය මෙතැනදී අමතක කරලා තියෙනවා. පන්සලක් විසින් නීති විරෝධී ආකාරයට මේ ඉඩම භුක්ති වින්දා කියන කාරණය මතක් කරන්න ඕනේ.”

“සන්නසකින් අයිතියි කියලා පන්සලෙන් මේ ඉඩම් බලෙන් අල්ලා ගත්තට ඒත් එහෙම සන්නසක් නැහැයි කියලා උසාවිය තීන්දු කළා. දෙවෙනි කාරණය තමයි සංවිධාන කීපයක් නඩු කිව්වයි කියලා කිව්වට එහෙම සංවිධාන කීපයක නඩු කිව්වෙ නෑ. පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ සහ මම තමයි මේ නඩුව කිව්වේ. අපේ නමින් තමයි මේ නඩුව දැම්මේ. මීට කලින් එක සංවිධානයක් අධිකරණයට ගිහින් තිබ්බත් තාක්ෂණික කාරණා හින්දා ඒ නඩුව එළියට විසි වුණා. ඒ දැන් අවුරුදු දහයකටත් උඩදි.”විතානගේ පෙන්වා දුන්නේය.

මේ නඩු නිමිත්තට පාදක වූ ඉඩම නාකොළගනේ රජමහා විහාරයට අයත් බව පැවසුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ සන්නසකිනි. මේ ඉඩමෙහි අයිතිවාසිකම තහවුරු කර ගැනීමේ ආරම්භක ලක්ෂය වූයේද එම සන්නසය.

එහෙත් කුමන හෝ සන්නසක් 1866 වසරේදී ලියාපදිංචි වී නොමැති නම් එය නීත්‍යානුකූල සන්නසක් ලෙස පිළිගත නොහැකි බව මේ නඩු තීන්දුවේදී ප්‍රකාශයට පත්ව තිබිණි. එසේ ලියපදිංචි නොවූ සන්නසක් නීතිය ඉදිරියේ පිළිගත නොහැකි බවද, සාංඝික දේපලක් වුවද එය පරිහරණය කළ යුත්තේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මිස පෞද්ගලික ලාභ අපේක්ෂා වෙන් නොවන බවද මේ නඩු තීන්දුවෙන් අවධාරණය කෙරිණි.

පරිසර පනතත්, පුරාවිද්‍යා පනතත් උල්ලංඝණය කළාද?

පාළුකඩවල වැව ආශ්‍රිතව එවකට එළි කළ භූමියෙහි කොටසක් රජයට අයිති කැලෑ ඉඩම් කොටසකි. සංවේදී වනාන්තර බිමක් එළිකොට ගිනි තබා භෝග වගා කිරීම, නීති විරෝධී අයුරින් අලි වැට ඉදිකිරීම ආදිය ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරන්නකි. එම බිමෙහි භාරකාරීත්වය දැරූ විහාරාධිපති හිමියන් විහාර දේවාලගම් ආඥා පනත යටතේ පාලනය වන බිමක ඉඩම් කොටස් කිහිපයක් බදු දී ඇති බව මේ නඩුවෙහිදී හෙළිව තිබිණි. මේ ඇතැම් බදු ගිවිසුම් වසර පහකටත් වඩා දිගුය. තවත් සමහර ඒවා වසරක පමණ කෙටි කාලීනය. පුරාවිද්‍යා වටිනාකමක් සහිත ලෙන් හතරක් ඇති බව පැවසෙන නිසා මේ බිම පුරාවිද්‍යාව පනත හා සමඟද බැඳී පවතී. වනාන්තර ඉඩමක විදුලි වැටවල් ඉදිකිරීමට පනතට අනුව අවසර ගත යුතු වුවත් ඒ කිසිවක් සිදුවී නැති බව නඩුවෙහිදී හෙළි විණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් බව පැවසූ, වන අලි ඇතුන් ආදී සතුන් ගැවසුණු වනාන්තර ඉඩම් කොටස් එළිපෙහෙරිකරමින් අඹ වැවීම ඇතුළු විවිධ සංවර්ධන කටයුතු සඳහා ඒවා යොදා ගැනීම ගැන ප්‍රදේශවාසීන් ඇතුළු පරිසරවේදීහු සිය විරෝධයෙන් පළ කළේ බොහෝ කලක පටන්ය. රජ සමයේදී සන්නස් පත්‍රයකින් විහාරයට පවරා දී තිබූ බව පැවසූ ඉඩම් අක්කර හාරදාස් පන්සීයක් පමණ ඒ වන විටත් අලි ඇතුන්ගේ නිජබිම් සහ වාස භූමි බවට පත්ව තිබිණ. ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකොට වත්මන් විහාරාධිපති හිමියන් ඉන් අක්කර ගණනාවක් අලි ඇතුන්ට පමණක් නොව ඒ අවට ගම්වාසීන් ඇතුළු බොහෝ පිරිසකට පසුගිය වසර කිහිපයක් තිස්සේම තහනම් කලාප බවට පත් කොට තිබුණේ උන්වහන්සේට රිසිසේ විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපාරිකයන්ට ඒවා බෙදා දෙමිනි. අඹ, ගස්ලබු වගා බිම් සේම කුකුළු ගොවිපළ, පස් කැණීමේ කටයුතු සදහා එම බිම් වෙන්ව තිබිණි.

පාළුකඩවල වැව ආශ්‍රිතව දිවි ගෙවූ, එම වැව ආශ්‍රිතව සැරි සැරූ සිය වාසබිම්, නිජබිම් අහිමිවූ සද්ධන්තයෝ සී සී කඩ විසිර ගොස් තිබුණේ ඒ අවට ප්‍රදේශවලටද වන අලි තර්ජනය ඉහළ දමමිනි. ඒ වනපෙත ආශ්‍රිතව ජීවත් වූ ලංකාවට ආවේනික පක්ෂීන්, උරගයින්, ක්ෂීරපායී සතුන් සමනලයන් මෙන්ම ආවේනික ශාක සිය ගණනක් නිකරුණේ විනාශ වී ගොස් තිබිණි.

වාණිජ අරමුණු සහිතව වන සතුන්ට අයත් භූමියක් උදුරා ගෙන, තම අභිමතය පරිදි ආපසු හැරවිය නොහැකි ආකාරයේ පරිසර විනාශයක් සිදු කරන බවට නාකොළගනේ රජ මහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන්ට එක් පසෙකින් චෝදනා නැගෙද්දී, අණ පනත් රැසකින් වගකීම් පැවරුණු රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු ආදිය මේ සා විනාශයක් අභියස නිහඩව සිටීම ගැන තවත් පසෙකින් එවකට චෝදනා නැගිණි. මේ චෝදනා සනාථ කරමින් රජයේ ඇතැම් පාර්ශ්ව තම රාජකාරී පැහැර හැරීම ගැන එල්ල වූ චෝදනා මේ නඩුවේ බොහෝ තැන්හිදී පිළිගෙන තිබිණි.

වනපෙත සුරැකීමට නඩු මගට

මේ වනාන්තර ඉඩම් කොටස් රැක ගැනීම සඳහා නීතිමය රැකවරණය අපේක්ෂාවෙන් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරුණේ පසුගිය 2022 වර්ෂයේදීය. පරිසරය යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සහ එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ ඇතුළු පිරිස මේ නඩුව පවරා තිබිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කෝමසාරිස්, ඇහැටුවැව දිස්ත්‍රික් ලේකම්, පොලිස්පති, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වයඹ පළාත් මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, නාකොළගනේ පුරාණ රජමහා විහාරාධිපති වලත්වාවේ රාහුල හිමි සහ නීතිපති ඇතුළු පිරිසක් මේ නඩුවෙහි වග උත්තරකරුවන් ලෙස නම් කෙරිණි.

ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ වසරේ මැයි 6 වැනිදා මේ නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

“බුදුන් වහන්සේ සන්තක දෙයින් තෘණ කෘෂ්ඨ (දර, ලී) ආදිය මල් පලාදී යනාදී දෙයින් ස්වල්ප මාත්‍රයක් හෝ වංචාවෙන් බලහත්කාරයෙන් තමන්ගේ ප්‍රයෝජනයට හෝ අනුන්ගේ ප්‍රයෝජනයට පැහැර ගැනීම කළ කෙනෙක් වේ නම් මහා ප්‍රේතව උපදින්නේය.” යැයි මේ ඉඩම් පවරා දී තිබූ බව පැවසූ සන්නසෙහි පාඨයක් පවා මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී විනිසුරු මඩුල්ල උපුටාගෙන තිබිණි.

පරිසරය වෙනුවෙන් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරේ

එහි තීන්දුව ප්‍රකාරව සන්නස්පත්‍ර මගින් විහාරස්ථාන වෙත පවරා ඇති නින්දගම් ඉඩම් තම අභිමතය පරිදි එළිපෙහෙළි කොට වානිජ හෝ වෙනත් අරමුණු උදෙසා භාවිතා කිරීමට විහාරාධිපති හිමිවරුන්ට ඇති අයිතිවාසිකම අභියෝගයට ලක් කෙරිණි. එනිසාම මේ නඩු තීන්දුව සැළකෙන්නේ මෙරට පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ මෑත කාලීනව වඩාත් කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමිකර ගත්තක් ලෙසටය.

මේ වනාන්තර ප්‍රදේශ පෞද්ගලික වාසි තකා එළිපෙහෙළි කිරීම සහ විදුලි වැටවල් ඉදිකිරීම මගින් මේ ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව එම තීන්දුව මගින් ප්‍රකාශයට පත්කොට තිබිණි. විහාරාධිපති හිමියන් විහාරස්ථාන භූමියට අයත් නොවන රජයේ වන ඉඩම් පවතින නීතියට පටහැණිව භාවිතා කර ඇති බවද, මේ වන විනාශය හේතුවෙන් පාළුකඩවල වැවේ ජල පෝෂක ප්‍රදේශ විනාශ වී ඇති බවද, නීති විරෝධී විදුලි වැටවල් නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වී ජන ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවද අධිකරණය පිළිගෙන තිබිණි.

මේ කැබිනට් තීන්දුවට පාදක වූයේ නාකොළගනේ නඩුවෙහි හතරවැනි වග උත්තරකරු වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අධිකරණය නියම කළ නියෝගයයි. ග්‍රාමී ජනතාව සමග සිදුකෙරෙන සාකච්ඡාවලින් අනතුරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කොට ඇති සිතියම්වලට අනුව වනාන්තර, වී වගා බිම් හා හේන් ලෙස ලේබල් ගත කොට ඇති හෙක්ටයාර පනස් පහක (55) වනාන්තර ඉඩම් කොටස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ වගන්ති ප්‍රකාරව ‘අභය භූමියක්’ ලෙස හෝ ‘අලි කළමනාකරණ රක්ෂිතයක්’ ලෙස හෝ ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරයාට නිර්දේශ කරන්නැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ නඩු තීන්දුව මගින් නියෝග නිකුත් කෙරිණි.

එමෙන්ම ඒ වන විටත් එළිපෙහෙළි කොට ඇති ඉඩම්වල නැවත වන වගාව සිදු කරන ලෙසද, එම ඉඩම්වල අනවසර අයුරින් ඉදිකොට ඇති සියලුම ඉදිකිරීම් සහ විදුලි වැටවල් කඩා ඉවත්කොට නැවත ඒවා යථා තත්ත්වයට පත් කළ යුතු යැයිද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණය නියෝග කොට තිබිණි.

දූෂකයා විසින්ම දූෂණය වන්දි ගෙවිය යුතුය

මේ නඩු තීන්දුවෙහි වඩාත් කැපී පෙනෙන කාරණය වූයේ ‘දූෂකයා විසින්ම දූෂණය වන්දිය ගෙවිය යුතුය’ යන නියමය යළිත් තහවුරු කිරීමය. විනාශයට පත් වූ භූමිය නැවත වන වගාකොට ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැයවන මුදල නඩුවෙහි දසවැනි වග උත්තරකරු ලෙස නම් කොට සිටි නාකොළගනේ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන්ගෙන් අය කර ගන්නා ලෙස වන ජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට අධිකරණය නියෝග කෙරිණි.

නඩු තීන්දුවට අනුව ගත් කැබිනට් තීරණය පිළිබදව තවදුරටත් අදහස් දැක්වූ හේමන්ත විතානගේ පැවසුවේ මෙවැන්නකි.

“මේ නඩුවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියමක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ සිතියමට අනුව හෙක්ටයාර පනස් පහකට ආසන්න ප්‍රදේශය සහ කැලෑ අඩංගු වෙන කොටස අරගෙන ඒක අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ අභය භූමියක් බවට පත් කරන්න කියලා නියෝග කළා. අලි කළමනාකරණ රක්ෂිතයක් කියන එකට ලොකු නීතිමය හයියක් නැහැ. ඒ හින්දා අපිට යන්න පුළුවන් අවම මට්ටම තමයි අභය භූමියක් කියන එක. යම් හෙයකින් අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත්කළොත් අපිට අළුත් රෙගුලාසි හදන්න වෙනවා. ඒ හින්දා අපි හිතනවා අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කරන එක හොඳයි කියලා. මේ අභය භූමිය කියන කොටස තුළ අවශ්‍ය නම් පෞද්ගලික ඉඩමක් වුණත් තියෙන්න පුළුවන්. මේ බිම් කොටස තුළ එක තැනක නිවාස අටක් විතර තියෙනවා. තවත් තැනක නිවාස තිස් ගාණක් තියෙනවා. පෞද්ගලික ඉඩම් පවා මේ වනාන්තර කොටසට අයිති වෙන හින්දා අභය භූමියක් විදිහට ප්‍රකාශයට පත්කරන එක තමයි හොඳම තීරණය.”

“මේ නඩු තීන්දුවේ තවත් නියෝග කිහිපයක් තියෙනවා. මේකේ පදිංචි වෙලා හිටපු මිනිස්සු ස්වේච්ඡාවෙන්ම අයින් වෙලා. ඒත් දැනට සති දෙකකට විතර කලින් නාකොළගනේ පන්සලේ හාමුදුරුවන්ගේ බලපෑමෙන් පුද්ගලයෝ දෙන්නෙක් මේ වනාන්තර ඉඩම්වල අලි වැටවල් ගහන්න උත්සාහ දරල තියෙනවා. ඒ ආරංචිය ලැබුණු වෙලාවෙම ඒ බව වනජීවීයට දැනුම් දුන්නා. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ ස්ථානයට ගිහිල්ලා අදාළ නීතිමය කටයුතු කළා කියලා මට පස්සේ ආරංචි වුණා. ඔය ඉඩම් කොටසේ තියෙන අඹවත්තක් වටේ අලි වැට තවම තියෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ අලි වැට අයින් කරන්න කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම.”

“අධිකරණ තීන්දුවට ඒ අය ගරු කළ යුතුයි. සති දෙකකට කලින් මම නාකොළගනේ පැත්තේ යනකොටත් ඒ අලි වැට තිබුණා. ඒ අලි වැට ඉවත් කරලා තමයි ඔය ප්‍රදේශය අභය භූමියක් විදිහට නම් කරන කටයුත්ත ක්‍රියාත්මක වෙන්න ඕනේ. අක්කර හයසිය ගාණක් අභයභූමියක් විදියට ප්‍රකාශයට පත් කරන එක ගැන අපි ඇත්තටම සතුටු වෙනවා”, විතානගේ වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *