
ශ්රී ලංකාවේ වනාන්තර තුළ නිදැල්ලේ සැරිසැරූ උසම සහ මහිමාන්විතම ඇත් රජු ලෙස විරුදාවලිය ලත්, අඩි 11කට වඩා උසැති පෞරුෂයකින් හෙබි ගල්ගමුවේ ‘කාවන්තිස්ස’ හස්තියා අද (ඔක්තෝබර් 16) සදහටම දෙනෙත් පියාගත්තේය. ගල්ගමුව, කලාඔය සහ සියඹලංගමුව ආශ්රිත වෙල්යායක අසරණව ඇදවැටී සිටි මෙම මහා ගජිඳුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන්ගේ ප්රතිකාර ලබමින් සිටියදීම මෙලෙස ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙරට පරිසර හා වනජීවී ක්ෂේත්රය දැඩි කම්පනයකට සහ කෝපයකට පත්ව තිබේ.
ප්රචණ්ඩත්වයෙන් තොර, මිනිසුන් කෙරෙහි අසීමිත ඉවසීමක් සහ ශාන්ත ගතිපැවතුම් දැක්වූ කාවන්තිස්ස, ගල්ගමුව ප්රදේශවාසීන්ගේ මෙන්ම දෙස් විදෙස් වනජීවී ඡායාරූප ශිල්පීන්ගේද ඉමහත් ආදරයට පාත්ර වූවෙකි. මීට මසකට පමණ පෙර මෙම දැවැන්තයාගේ දකුණු ඉදිරි පාදයේ දණහිස ආසන්නයේ බරපතළ තුවාලයක් නිරීක්ෂණය වූ අතර, එය වෙඩි ප්රහාරයකින් සිදුවූවක් බවට සැක කරයි.
එතැන් පටන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) මඟින් සති කිහිපයක් තිස්සේ ප්රතිකාර ලබා දුන්නද, අද (16) උදෑසන වන විටත් සත්ත්වයා නැගිට ගැනීමට නොහැකිව කලා ඔය අසල වෙල්යායක ඇදවැටී සිටියේය. නිලධාරීන් පැමිණ සේලයින් හා ඖෂධ ලබා දෙමින්, දොඹකර ආධාරයෙන් ඔසවා නැවත පණගැන්වීමට උත්සාහ කළද ඊට කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ කාවන්තිස්ස, කෙටි වේලාවකින් සිය ප්රාණය අත්හළ බව වනජීවී බලධාරීන් නිල වශයෙන් ප්රකාශයට පත් කළේය.
පශු වෛද්ය අංශයේ නිදන්ගත අසමත්කම සහ පරිසරවේදීන්ගේ චෝදනා
කාවන්තිස්සගේ මෙම ශෝචනීය වියෝව හුදෙක් තවත් එක් වන සත්ත්ව මරණයක් නොවේ. එය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය අංශයේ අකාර්යක්ෂමතාව, තාක්ෂණික නොමේරුභාවය සහ නිසි සැලැස්මක් නොමැතිකම නැවත වරක් මනාව හෙළිදරව් කළ ඛේදවාචකයකි. දිවයිනේ ජීවමාන ස්වාභාවික උරුමයන් රැකගැනීමට මෙරට රාජ්ය යාන්ත්රණය අසමත් වන වාරයක් පාසා බිලිවන්නේ මෙරට අභිමානයයි.
ගල්ගමුව යනු මෙරට වැඩිම දළ ඇතුන් ප්රමාණයක් ගැවසෙන බිම්කඩක් වුවද, පසුගිය කාලය පුරාම මෙම ප්රදේශයේ රජ කළ විසල් දළ ඇතුන්ට අත්වූ ඉරණම බියකරුය:
- සියඹලංගමුවේ මහා ඇතා
- තේක්කවත්තේ ඇතා
- භාතිය හස්තියා
- අද අපට අහිමි වූ කාවන්තිස්ස
මෙම සියලු මහා ගජිඳුන් මියගියේ වනජීවී පශු වෛද්යවරුන්ගේ “ප්රතිකාර” ලබමින් සිටියදී හෝ ඔවුන් සිදුකළ අත්තනෝමතික “අල්ලා වෙනත් ස්ථාන කරා ගෙන යාමේ” (translocation) අසාර්ථක මෙහෙයුම් අතරතුරදීය. එකම වැරැද්ද නැවත නැවතත් සිදු කරමින්, ප්රතිකාර ප්රමාද කරමින් හෝ වැරදි ක්රමවේද අනුගමනය කරමින් මෙරට ඉතිරිව සිටින සීමිත දළ ඇතුන් බිලිදීම සම්බන්ධයෙන් පරිසරවේදීහු සහ වනජීවී ක්රියාකාරීහු වනජීවී දෙපාර්තමේන්තුවට දැඩිව චෝදනා කරති.
ඩොලර් උපයන උරුමයට අත්වූ සෝචනීය ඉරණම
මෙරට වනෝද්යාන හා වනජීවී සම්පත් පෙන්වමින් රජය සහ වනජීවී දෙපාර්තමේන්තුව සංචාරක කර්මාන්තය හරහා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක ආදායමක් උපයයි. රටේ විදේශ විනිමය ගලා එන ප්රධානතම ජීවනාලියක් වන පරිසර සංචාරක ව්යාපාරයේ කේන්ද්රීය ආකර්ෂණය වන්නේ මෙවන් මහිමාන්විත වන අලි ඇතුන්ය. එහෙත් එම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට යොදාගන්නා ජීවමාන ජාතික උරුමයන්ට වෙඩි වදිද්දී, හක්කපටස් කවද්දී හෝ ලෙඩ වෙද්දී ඔවුන් බේරාගැනීමට ස්ථිර, දියුණු හදිසි සත්ත්ව ප්රතිකාර මධ්යස්ථානයක් හෝ සුදුසුකම්ලත් විධිමත් පද්ධතියක් ගොඩනැගීමට පාලකයන් සම්පූර්ණයෙන්ම අසමත් වී ඇත.
කාවන්තිස්ස ඇත් රජුගේ මරණයෙන් පසු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් මෙරට අහිමි වූ අභිමානය නැවත ලබාගත නොහැක. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිද්රාශීලී ක්රියාකලාපයට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, මෙරට ඉතිරිව සිටින අවසන් දළ ඇතුන් කිහිපදෙනා හෝ ආරක්ෂා කරගැනීමට කඩිනම් ජාතික ප්රතිපත්තියක් සම්පාදනය නොකළහොත්, ශ්රී ලංකාවේ ඇත් පරපුර ඡායාරූපවලට පමණක් සීමාවන දිනය වැඩි ඈතක නොවේ.