T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයට

ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසිනු කරමින් ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන බලාපොරොත්තුව බොඳ වී ගොස් තිබේ. දකුණු අප්‍රිකාවට සහ බංගලාදේශයට දරුණු පරාජයන් අත්විඳීමෙන් පසු, නේපාලයට එරෙහිව ඔවුන්ගේ තරගය වර්ශාවට සේදී ගිය අතර, ඊළඟ අදියර සඳහා සුදුසුකම් ලැබීම බරපතල ලෙස අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

ලෝක මට්ටමේ තරගාවලියකදී ජාතික කණ්ඩායමක් දක්වන අතිශය දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතී. සමාජ මාධ්‍ය තුල ක්‍රීඩා ලෝලීන් ජාතික කණ්ඩායම අවමානයට පාත්‍ර කරමින් සිටින අතර, කණ්ඩායමේ දුර්වල දස්කම් පිළිබඳව රසික රසිකාවියන් සිය කෝපය ප්‍රකාශ කරයි. දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත අඩු ලකුණු 77ක් ලබා ගැනීමත් සමඟ ඔවුන්ගේ දුර්වල පිතිකරණය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත. සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තිබූ පන්දු යැවීමද ලෝක කුසලාන මට්ටමේ එකක් නොවන බව විචාරකයින් පවසයි.

නායක වනිදු හසරංගගේ ක්‍රියාකලාපය විශේෂයෙන් විවේචනයට ලක්ව ඇත. ඔහුගේ නායකත්වය ගැන රසිකයන් ප්‍රකාශ කරන්නේ ඔහුගේ උපායශීලී සහ සැලසුම් සහගත නොමැති ක්‍රියා කලාපය කණ්ඩායමේ සියළුම අංශයන්ගෙන් මනාව ප්‍රදර්ශනය වන බවයි. ක්‍රීඩා උපායමාර්ගයේ වෙනසක් සහ වඩාත් වගකීම් සහගත නායකයෙකු කණ්ඩායමට අත්‍යාවශ්‍ය බව ක්‍රීඩා විචාරකයින් සහ රසික රසිකාවියන් ඉල්ලා සිටී.

ඔවුන්ගේ කාණ්ඩයේ නෙදර්ලන්තයට එරෙහිව තවත් එක් තරගයක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් ආශ්චර්යයක් අවශ්‍ය වේ. නෙදර්ලන්තය වෙනත් තරඟවල ලැබූ වාසිදායක ප්‍රතිඵල නිසා, ශ්‍රී ලංකා පිළ අති දැවැන්ත පරතරයකින් ලබා ගන්නා ජයග්‍රහණයකින් පවා ඔවුන් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමේ ඉඩ කඩක් නොමැති බව ක්‍රීඩා විචාරකයින් පවසයි.

ජාතික කණ්ඩායමේ මෙම අති දුර්වල ක්‍රීඩා විලාශයට එරෙහිව ප්‍රධාන චෝදනා එල්ල වන්නේ තේරීම් කමිටුවට සහ ක්‍රිකට් පාලක මණ්ඩලයටය. අනවශ්‍ය දේශපාලන අතපෙවීම් සහ නිසි පරිපාලනයක් නොමැති තත්වයක් මැද දක්ෂතා සපිරි ජාතික කණ්ඩායමක් ගොඩ නැගිය නොහැකි බව විචාරකයින් පෙන්වා දෙති.

මෙම තත්වය හමුවේ ක්‍රීඩකයින්ගේ පීඩනය අතිමහත් වන අතර කණ්ඩායමේ චිත්ත ධෛර්යය බොහෝ විට අඩු මට්ටමක පවතී. අභිමානවත් මට්ටමක තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙම ලෝක කුසලානයේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ලෝක මට්ටමේ අවමානයකට ලක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *