නැගෙනහිර දුම්රිය මාර්ග පද්ධතියේ වන අලි ගැටීම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණික විසඳුමක්

දැනට වැඩ නිමවෙමින් පවතින මහව – ඕමන්ත දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නිම වීමත් සමඟ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය පැයට කි.මී. 100ට ආසන්න වේගයකින් ධාවනය වනු ඇති අතර එලෙස අධික වේගයෙන් ධාවනය වන දුම්රියයන්හි වන අලි ගැටීම නිසා සිදුවන අනතුරු ඉදිරියේදී වැඩි වීමට නියමිත බව පරිසරවේදීන් සැක මතු කරයි.

පරිසර සංවිධින විසින් කළ යෝජනා අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගල්ගමුව ප්‍රදේශයේ ඉදිකරනවා යැයි පැවසූ අලි උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු තවමත් ආරම්භ වී නැති බවත් අවම වශයෙන් එවන් විසඳුමක් හෝ ලබා නොදී දුම්රිය මාර්ගයේ අධික වේගයෙන් දුම්රිය ධාවනය කළහොත් එය වන අලින්ට දැඩි තර්ජනයක් වන ඇති බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙති.

මේ අතර බහුල වශයෙන් අලි – දුම්රිය අනතුරු සිදුවන නැගෙනහිර දුම්රිය මාර්ග පද්ධතියේ එම අනතුරු වැළැක්වීම සඳහා කිසිඳු පාර්ශවයක් මේ වන තෙක් ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බවත්, එම දුම්රිය මාර්ග පද්ධතියේ බහුලව වන අලින් ගැටෙන පලුගස්වැව, හබරණ, තලපත්කන්ද, අග්බෝපුර, තඹලගමුව, ගල්ඔය, මින්නේරිය, ගිරිතලේ, හිගුරක්ගොඩ, ගල්ලෑල්ල, මනම්පිටිය සහ පූනනි යන ස්ථාන වල දුම්රියයන්හි වන අලි ගැටීම වැලැක්වීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව ශ්‍රී ලංකා සොබා ආරක්ෂක පදනම පවසයි.

එම සංවිධානයේ සභාපති ආචාර්ය කිත්සිරි පලිහපිටිය මහතා තවදුරටත් පවසා සිටියේ එම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් දුම්රිය මාර්ගය හරහා අලි ඇතුන් ගමන් කිරීමේ දී එය සංවේදක මගින් ස්වයංක්‍රීයව හඳුනාගෙන දුම්රිය රියදුරන්ට අනතුරු ඇඟවීමේ නවීන තාක්ෂණික පද්ධතියක් ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි ඇතුන් ගැටෙන තලපත්කන්ද නමැති ස්ථානයේ සවි කිරීමට තම සංවිධානය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා නවීන තාක්ෂණික සහය ලබාදීමට ඇමරිකාවේ සහ කැනඩාවේ තමන් සේවය කළ විශ්ව විද්‍යාල දෙකක පර්යේෂකයින් කණ්ඩායම් දෙකක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත්, මේ වන විට ඒ සඳහා අවශ්‍ය මූලික දත්ත සහ තොරතුරු ඒකරාශී කරමින් සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

ඔවුන්ගේ මූලික අධ්‍යයනයේ දී තලපත්කන්ද ප්‍රදේශයේ ඇති පැරණි නල ලිඳකින් ජලය පානය කිරීම සඳහා වන අලින් නිරන්තරයෙන් ඒ අසල ඇති දුම්රිය මාර්ගය හරහා ගමන් කරන බව නිරීක්ෂණය කර ඇත.

මෙම පද්ධතිය මගින් නවීන අධෝරක්ත සංඥා සංවේදක මගින් රාත්‍රී කාලයේදී පවා අලි ඇතුන් දුම්රිය මාර්ගය ආසන්නයේ සිටීදැයි හඳුනාගෙන දුම්රිය රියදුරන් කල්තියා දැනුවත් කළ හැකි බවත්, එමගින් අනතුරක් සිදුවීමට ප්‍රථම දුම්රිය නවත්වාගැනීම හෝ වේගය අඩුකරගැනීමේ හැකියාවක් දුම්රිය රියදුරන්ට ලැබෙන බවත් ඔහු පැවසීය. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත සමස්ථ දුම්රිය මාර්ග පද්ධතියේම වන අලි මාරුවන ස්ථාන වල මෙවැනි නවීන සංවේදක පද්ධති ස්ථාපිත කිරීමට තම සංවිධානය කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.

වනජීවීන් සඳහා උමං මාර්ග හෝ පාලම ඉදිකිරීම මගින් පමණක් මෙම ගැටළුවට විසඳුම් සෙවිය නොහැකි බවත්, කෙසේ නමුත් එවැනි විසඳුම්ද ලංකාවට අවශ්‍ය බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *