
ජනාධිපති සමාව අහෝසි වීම හේතුවෙන් යළි බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පැනනැඟී ඇති සමාජ කතිකාවත් සමඟ, බන්ධනාගාර ආඥාපනතේ වගන්ති කඩිනමින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගයන්ට අනුව වසර තුනකට වඩා සිරදඬුවම් නියම වන රැඳවියන් සාමාන්‍ය සිරකරු ඇඳුම පැළඳිය යුතු බවට පවතින නීතිමය සීමාව ඉවත් කර, ඥානසාර හිමියන්ට යළි සිවුර ලබාදීමට අදාළව මෙම සංශෝධනය ගෙන ඒමට සැලසුම් කර ඇතැයි මේ සම්බන්ධ මූලික සාකච්ඡාවලට එක්වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අනාවරණය කරති.
මේ පිළිබඳව අද (08) සවස 1.00 ට ජනාධිපතිවරයා සහ ගෞරවණීය මහානායක ස්වාමීන්වහන්සේලා නියෝජනය කරමින් නිකායත්‍රයේ ලේඛකාධිකරී සහ අනුනායක ස්වාමීන්වහන්සේලා පුමුඛ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, අච්චු කරන ලද ස්වාමීන් වහන්සේලාට සහන සැලසීමේ අරමුණින් මෙම නීති ලිහිල් කිරීම පිළිබඳව එහිදී රජයේ පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසයි.
කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂා කරන විද්වත් මහා සංඝරත්නය සිය දැඩි අප්‍රසාදය පළ කරති. තනි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෙවැනි හදිසි නීති සංශෝධන සිදු කළහොත්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අතිශය ම්ලේච්ඡ අපරාධ සිදුකර වරදකරුවන් වන, විනයානුකූලව පාරාජිකා වූ දුස්සීල පුද්ගලයන්ට පවා බන්ධනාගාරයේදී සහ අධිකරණ කටයුතුවලදී අඛණ්ඩව චීවරය දැරීමට නීතිමය ඉඩකඩ විවර වන බව උන්වහන්සේලා පෙන්වා දෙති.
එවැනි තත්ත්වයක් තුළ සමස්ත භික්ෂු ශාසනයේ ගෞරවය සදාකාලික කැළලකට ලක්වීම වැළැක්විය නොහැකි බව අවධාරණය කරන මහා සංඝරත්නය, පටු දේශපාලන වාසි හෝ තාවකාලික විසඳුම් පදනම් කරගෙන සම්බුද්ධ ශාසනය අවදානමේ නොහෙළන ලෙසත්, ශාසනික විනය හා ගෞරවය සුරැකෙන පරිදි පමණක් තීන්දු තීරණ ගන්නා ලෙසත් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.