ගල්ගමුවේදී තවත් වන අලියෙකු දුම්රියට බිලි

ඡායාරූප: විනුර අබේරත්න

උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේදී අද (11) අලුයම ධාවනය වූ දුම්රියක ගැටීමෙන් තරුණ වියේ පසුවූ වන ඇතින්නක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ගැටුම සිදුවූ ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඉදිරියට ඇවිද ගොස් ඇදවැටී ඇති මෙම සත්ත්වයා කුඩා කළලයක් සහිත ගැබ්බර ඇතින්නක් බවට සැක පළ කෙරේ.

දුම්රිය රියදුරුගේ ප්‍රකාශවලට අනුව වන අලි තිදෙනෙකුගෙන් යුත් රංචුවක් දුම්රියේ ගැටී ඇති අතර, අනතුරට ලක්වූ සෙසු සතුන්ට සිදුවූ හානිය සොයා වනජීවී නිලධාරීන් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇත. ඊයේ දිනයේ යාබද ගම්මානයක සිරවී නොසන්සුන්ව හැසිරුණු අලි රංචුවක්, මධ්‍යම රාත්‍රී 12.45ට පමණ දුම්රිය මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කිරීමේදී මෙම මාරක අනතුරට ගොදුරු වී තිබේ.

ගල්ගමුව යනු මෙරට වියළි කලාපයේ අලි ඇතුන්ගේ පැවැත්ම තීරණය කරන අතිශය තීරණාත්මක සංක්‍රමණික කලාපයකි. කළාවැව ජාතික වනෝද්‍යානයේ සිට කහල්ල-පල්ලෙකැලේ අලි මංකඩ හරහා තබ්බෝව අභයභූමිය දක්වා විහිදෙන ප්‍රධාන අලි මංපෙත ඡේදනය කරමින් උතුරු දුම්රිය මාර්ගය ඉදිකර ඇත.

ඡායාරූප: විනුර අබේරත්න

පරම්පරා ගණනාවක් පුරා අලි ඇතුන් ජලය හා ආහාර සොයා ගමන් කළ මෙම ඓතිහාසික මාර්ගය අවහිර කරමින් සිදුකර ඇති අනවසර මිනිස් ජනාවාස, නීතිවිරෝධී වගාබිම් සහ අක්‍රමවත් විදුලි වැටවල් හේතුවෙන් වන අලින්ට සිය ස්වභාවික සංචරණ කාලසටහන් වෙනස් කිරීමට සිදුව තිබේ. දහවල් කාලයේදී ගම්මාන සහ වගාබිම්වල කොටුවන අලි රංචු, ගම්මුන්ගේ එළවා දැමීම් හා වෙඩි හඬ මධ්‍යයේ දැඩි පීඩනයෙන් යුතුව මධ්‍යම රාත්‍රියේ හෝ අලුයම් කාලයේදී දුම්රිය මාර්ග හරහා පැනීමට උත්සාහ කරන්නේ මෙවන් බිහිසුණු අනතුරුවලට අතවනමිනි.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය හරහා දිවෙන උතුරු, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දුම්රිය මාර්ග අලි ඇතුන්ට දිනෙන් දින මර උගුල් බවට පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියවල අධික වේගය සහ දුම්රිය රියදුරන්ට ඉදිරිය පැහැදිලිව නොපෙනෙන වංගු සහිත මාර්ග කොටස් මෙම අනතුරු තීව්‍ර කරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර තාක්ෂණික සංවේදක පද්ධති (Thermal sensors & AI cameras), දුම්රිය වේග සීමා පාලනය, මාර්ග දෙපස එළිපෙහෙළි කිරීම සහ යටි මාර්ග (Underpasses) ඉදිකිරීම පිළිබඳ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණද, ඒවා ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ අතිශය මන්දගාමී තත්ත්වයකය. අද අලුයම ගල්ගමුවේදී තවත් අහිංසක ඇතින්නක් ජීවිතයෙන් වන්දි ගෙව්වේ රාජ්‍ය යාන්ත්‍රණයේ එම නිද්‍රාශීලී ප්‍රතිපත්තියට බව නොකියාම බැරිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *