පරාගකාරකයන්ගේ අර්බුදය, අපේ ආහාර සුරක්ෂිතතාව සහ බලධාරීන්ගේ වගකීම.


සවනි ශේශාධි, ටයිම්ස් ඔෆ් ලංකා
ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
පැණි නිපදවන මී මැස්සෝ ඇතුළු වනගත මැස්සන් වර්ග, සමනලයෝ, සළඹයෝ ඇතුළු සතුන් විශේෂ කිහිපයක් සැළකෙන්නේ ‘පරාග කාරකයින්’ ලෙසය. ඇතැම් පක්ෂීන් ද පරාග කාරකයෝය. වවුල් විශේෂ මෙන්ම කුරුමිණි වර්ග හා ඇතැම් මැස්සන් වර්ග ද පරාග කාරකයෝය.
ශාකවල ‘පර පරාගනය’ සිදු කරන්නේ මේ සත්ව විශේෂයි. ඇතැම් තැනෙක පරාග වාහකයෝ ලෙස උන් හැඳින්වේ. ස්වභාව දහමෙන්ම මේ පරාග කාරකයින්ට පැවරුණු රාජකාරියක් පවතී. ඔවුන්ගේ කාර්යය නිසි ලෙස ඉටු නොවුණහොත්, වනාන්තරවල ශාකවලට සේම බෝග වගාවටත් විශාල විනාශයක් සිදු වේ. එයට හේතුව වනුයේ පරාග කාරකයන් වෙතින් පරාගනය වන ශාක කිසි ලෙසකින්වත් වෙනත් ක්‍රමයක් මඟින් පරාගනය කළ නොහැකි වීමය. මිනිස් අතකින් පරාගනය කළ හැකි බවට ඇතැමෙකු තර්ක කළද ප්‍රයෝගිකව එසේ කළ නොහැකි අවස්ථා බොහෝ පවතී. බහුතරයක් ශාක ඒ අයුරින් කෘත්රීමව පරාගනය කළ නොහැක. ඒ සඳහා පරාග කාරකයින් සිටියම යුතුය.
පරාග කාරකයින්ගේ අර්බුදය පහුගිය කාලය පුරාවටම දකිනට ලැබුණු කාරණයකි. වනගතව සිටිනා බිඟු වර්ගවල මෙන්ම සමනලයන්ගේද සෑහෙන්න අඩුවීමක් දක්නට ඇත. වසරක් පාසාම සමනළුන්ගේ ගහනය හා උන්ගේ විවිධත්වය සංඛ්‍යාත්මකව අඩු වීමක් පෙන්නුම් කරයි. මීමැස්සන්ගෙ ගහනය හා විවිධත්වය ද මේ හා සමානමය.
පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 2012 -2014 වසරවලදී ‘පරාග කාරකයින් සංරක්ෂණය පිළිබඳ ජාතික සැලැස්මක්’ සකස් කළද එය නිසි ලෙස ක්රියාවේ යෙදවී නැත. එහි ප්‍රධාන කාර්යභාරය පැවරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයටය. පරාග කාරකයින් පිළිබඳව සකස් කළ ජාතික සැලැස්ම දැන් වසර දහයකටත් එහා පැරණිය. එය කඩිනමින් යාවත් කාලීන කළ යුතුය. එහි පැවති අඩුපාඩු ගණනාවක් ගැන විවිධ පාර්ශ්ව වෙතින් එවකට චෝදනා නැඟිණි.
පරාග කාරකයින්ගේ ගැටලුවට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ උන් ජීවත් වූ පරිසරය විනාශ වීමය. දේශීය ශාකවලටත් වඩා වේගයෙන් පැතිරෙන ආගන්තුක ආක්‍රමණශීලි ශාක හේතුවෙන් මේ සත්ත්ව විශේෂ පෝෂණය කළ ශාක මෙන්ම උන් පරාගනය කළ වන ශාකද හිඟ වී ගොස්ය. ඇතැම් සමනල විශේෂවල කීට පෝෂක ශාක පවා විනාශ වී ඇත. සළඹයින් ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් මේ තාක් සිදු කළ බවට තොරතුරු නොමැති නිසා උන්ගේ ව්‍යාප්තිය ගැන විද්‍යාත්මක දත්ත හිඟය.
කෘමි නාශක භාවිතයද පරාග කාරකයින්ගේ අඩු වීමට සෑහෙන්න බලපෑමක් ඇති කර තිබේ. ඇතැම් කෘමිනාශක, ශාකවලට අවශෝෂණය වූ පසු ශාක පටක විෂ බවට පත් කරයි. මේවා පරාග සහ ශාක යුෂ සමඟ එක්ව සතුන්ගේ ශරීරයට ඇතුළු වන්නේ උන්ගේ අවසානයට පාර කපමිනි.
මිනිස්සු දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ සතුන්ගේ ජනපද විනාශ කිරීමද පරාග කාරකයින්ගේ ව්‍යාප්තියට බලපා තිබේ. ඇතැම් සමනල් විශේෂවල දළඹුවෝ, බඹරු, මී මැස්සෝ විනාශ කරති. එක්කෝ මේ සතුන් ගොඩ නඟා ගත් ජනපද පිටින්ම ගිනි තබති. ස්වභාවික පරිසරය විනාශ කිරීම් මෙන්ම ගෝලීය උණුසුම ඉහළ යෑමත් මේ සතුන්ට අහිතකර අයුරින් බලපෑම් කරති.
බොහෝ දෙනෙකු දන්නා හොඳම පරාගකාරකයා වන්නේ මී මැස්සාය. එහෙත් තවමත් මේ මී මැස්සන් කැලෙන් අල්ලන විනාශකාරී ක්‍රමය පාලනය කිරීමට හෝ නතර කිරීමට කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත. ආදී වාසීන්ට මී වද කැඩීම සම්ප්‍රදායික කටයුත්තක් සේ සළකා යම් අවසරයක් හා අවස්ථාව ලබා දුන්නද වාණිජ්‍යමය වශයෙන් අන් අයට මී පැණි අවැසි නම් උන් ඇති කොට පැණි ලබා ගත යුතුය යන්න තවමත් ක්‍රියාත්මක වී නොමැති ක්‍රියාවකි. කැලෙන් මී වද කැඩීම තහනම් කළ යුතුය. මින් සිදු වන්නේ මී මැසි ජනපද විනාශ වීමය. ඇතැම් පිරිස් පැණි ලබා ගැනීමේදී හිතා මතාම ඒ ජනපද විනාශ කරති. මේවා සම්පූර්ණයෙන්ම තහනම් කරන නීති බලාත්මක කළ යුතුය.
මී මැසි පාලනය දිරි ගැන්වීම ගොවීන්ට සහ මී මැසි පාලනයේ යෙදෙන දෙපිරිසටම වාසි ගෙන දෙන්නකි. එය ආර්ථික වශයෙන්ද ලාබ ලැබිය හැකි කර්මාන්තයකි.
පරාගකාරකයින් මුහුණ දෙන අනතුරු පිළිබඳ විද්‍යාත්මක දත්ත බොහෝ හිඟය. ඒ ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් කරන බවක් හෝ නොපෙනේ. පරාගකාරකයෝ වෙනුවෙන් ඉඩක් වෙන් කිරීම කළ යුත්තකි. සමනලයින්ට උයන් සකසනවා සේම සළඹයින්ට, මී මැස්සන්ට මල් පැණි බහුල ශාක ඇති කළ යුතුය. බෝග හිඟයක් ඇති වුවද පරාග කරකයෝම එම බිම් නඩත්තු කරති. උන් ගැවසෙන වපසරිය වැඩි වන විට භෝග ඉබේටම පරාගනය කිරීමට උන් පෙළඹෙති.
අනෙක් කාරණය වන්නේ බඹර වද විනාශ කිරීමට ඇතැම් පිරිසක් පෙළඹී සිටීමය. මෙය නතර කළ යුතුය. බඹරු යනු බොහෝ බෝගවල ප්‍රධාන පරාග කාරකයෙකි. පසුගිය වසරේ මහා විලච්චියේ වට්ටක්කා වගා කළ ගොවියෝ සිය බෝග අතින් පරාගනය කිරීමට කටයුතු කළ බව පැවසිණි. ඇතැම් ස්ථානවල පරාග කාරකයින්ගේ අර්බුදය දැනටමත් ගොඩනැගෙමින් පවතී. බෝග සිටවා ලබා ගන්නා අස්වැන්න අඩු වූ විට පොහොර හිඟය නිසා අස්වනු අඩු වන බව පැවසුවද ඇතැම් විට පොහොර ප්රශ්නය සේම පරාග කාරකයින්ගේ ප්‍රශ්නයද තිබිය හැක. පරාගනය නොවුණු විට පළ හට නොගනී. එනිසා ඒ ගැනද සොයා බැලිය යුතුය.