
ඊයේ දිනයේදී ඇන්ටාක්ටිකාවෙන් සෙල්සියස් අංශක 20.7 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත. මෙය මෑත ඉතිහාසය තුළ ඇන්ටාක්ටිකාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙස සැළකේ.
එමෙන්ම පසුගිය සතියේ ද ඇන්ටාක්ටිකා ප්‍රදේශය තුළ සෙල්සියස් අංශක 18.3 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර මේ හරහා දිය වී යන ග්ලැසියර, සාගර ජලයට එක්වීම හේතුවෙන් සාගර ජල මට්ටම ඉහළ යාම සීඝ්‍රයෙන් සිදු වෙමින් තිබේ. පසුගිය වසර 50 තුළ ඇන්ටාක්ටිකාවේ බටහිර වෙරළ තීරයේ ග්ලැසියර වලින් 87% ක් පමණ දිය වී ගොස් තිබෙන්නේ සීඝ්‍රයෙන් ඉහළ ගිය ගෝලීය උණුසුම හේතුවෙනි.
අන්ත පරිභෝජනවාදය විසින් නිර්මාණය කළ ගෝලීය උණුසුම ඇතුළු දේශගුණික විපර්යාසයන් විසින් අනාගතය ඉතා ඛේදජනක තත්වයකට පත් කරමින් තිබේ. මෙවැනි වාතාවරණයක දී පවා ශ්‍රී ලංකාවේ තෙත්බිම් ගොඩ කිරීම, වනාන්තර කපා ජනතාව පදිංචි කිරීම දේශපාලකයින්ගේ මුලිකත්වයෙන් සිදුවෙමින් තිබේ. රටක පාලකයින් මෙවැනි ගෝලීය අර්බුද වලට විසඳුම් යෝජනා කළ යුතු පුද්ගලයින් වුවත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දේශපාලනයකි.
ගෝලීය පාරිසරික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට පමණක් ගැලවිය නොහැකි බව පාලකයින් තේරුම් ගත යුතු බවත්, පරිසර සංරක්ෂණය සඳහා දැඩි අවධානයක් ඔවුන් යොමු කළ යුතු බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.



