ගල්ගමුවේ අලි උමඟ අලි බොරුවක් ද? හැදෙන්නේ කවදා ද?

පසුගිය මාර්තු 01 වන දින ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව, ගැටදිවුල ප්‍රදේශයේ දී ඉදිකිරීම් ආරම්භ කරන්නට යෙදුනු ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය පොරොන්දු වූ පරිදි ඉදි නොවන බවට ප්‍රචාරයක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.

එහි සැබෑ තතු දැනගනීම සඳහා අප එම කාර්යයට මුල් වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයෙන් ඒ පිළිබඳව විමසා සිටියා. මේ ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස්. ඒඳහා අපි සම්බන්ධ කරගත්තේ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්.

හාමුදුරුවනේ, ඇත්තටම ගල්ගමුවේ ඉදි කරන්න පටන් ගත්ත වනජීවී උමං මාර්ගයට මොකද උනේ? ඒක හැදෙන්නේ නෑ කියලා ප්‍රචාරයක් යනවා. මොකක්ද මේකෙ ඇත්ත කතාව?

ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. ගල්ගමුවේ වනජීවී උමං මාර්ගය සැලසුම් කළ පරිදි ඉදි වෙනවා. දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ සිදුවූ යම් යම් ප්‍රමාදයන් සහ තාක්ෂණික ගැටළු නිසා එම ඉදිකිරීම් කටයුතු වලත් ප්‍රමාදයක් තිබෙනවා. ඒ නිසා තමයි නියමිත පරිදි ඉදිකිරීම් ආරම්භ නොවුනේ. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය අපිට දැනුම් දුන්නේ පළමුව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ගල්, පස්, සිල්පර සහ රේල් පීලි සැපයුම් අවශ්‍ය පරිදි සිදුකිරීමෙන් පසුව තමයි නියමිත ස්ථාන වල බෝක්කු, බැමි සහ වේදිකා වැනි වෙනත් ඉදිකිරීම් සිදුකරන්නේ කියලා. දැන් ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මූලික ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතිනවා. එම නිසා නුදුරේදීම වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතුත් ආරම්භ වෙයි.

හාමුදුරුවනේ, දැන් ඒ ආසන්නයටම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරලා නේද? තව ටික දවසකින් අදාල ස්ථානය පසු කරලා රේල් පාර අතුරලා ඉවර කරයි නේද? එතකොට කොහොමද එතන උමං මාර්ගයක් හදන්නේ?

මේක ඉංජිනේරුමය කාර්යයක් නේ. දුම්රිය මාර්ගයක් ඉදි කරන ආකාරය ගැන අපි ඉංජිනේරුවන්ට උපදෙස් දෙන්න යන්න අවශ්‍ය නෑ. එම ඉදිකිරීම් කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය, සිල්පර සහ පීලි ප්‍රවාහනය වගේ සැපයුම් අවශ්‍යතා සම්පූර්ණ කරගෙන එපැයි ඒ කටයුතු කරන්න. ඉතින්, අපි ඉංජිනේරුවන්ට ඒ වැඩේ කරන්න ඉඩ දීලා බලාගෙන ඉමු. ඔවුන් ඒ වැඩේ හරි ආකාරයට කරයි කියලා අපිට විශ්වාසයක් තියනවා.

හාමුදුරුවනේ, අපි දැක්කා සමහරු චෝදනා කරනවා මේ වනජීවී උමං මාර්ගය ලංකාවේ අලි ඝාතන පිළිබඳ අවධානය වෙනතකට හරවන්න රජය පාවිච්චි කළ උපක්‍රමයක් කියලා. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඒ ගැන නම් කියන්න දෙයක් නෑ. හරිම කණගාටුයි එහෙම අභූත කාරණා ජනගත කරන පිරිස් ගැන. දැන් ඔය කියන විදියට අලි මැරෙන එක නවත්තන්න කිසිම කෙනෙක්ට සුබවාදී ක්‍රියා මාර්ගයක් ගන්න බෑ නේද? මොකද කවුරුහරි යමක් කළොත් ඔය කියන විදියටම අවධානය වෙන පැත්තකට හරවන වැඩක් වෙනවා. දුම්රියේ අලි හැප්පෙන එකට විසඳුමක් ගේන විට ඒක අවධානය වෙන පැත්තකට යොමු කිරීමක් වෙන්නේ කොහොමද? ඒක අවධානය හරි තැනට යොමු කරවන වැඩක්. එහෙම ගත්තම අනවසර විදුලි වැටවල්, හක්ක පටස්, බඳින තුවක්කු අල්ලන්න පියවර ගන්නවා කියලා හෙට වනජීවී දෙපාර්තමේන්තුව හරි පොලිස් දෙපාර්තමේන්තුව හරි කිව්වොත් ඒකටත් ඔය අය කියයි අවධානය වෙන පැත්තකට හරවන්න කරන වැඩක් කියලා. දැන් එතකොට මේ අලි මැරෙන එක නවත්තන්න අපි පටන් ගන්නේ කොතනින්ද? කරුණාකරලා ඔය චෝදනාව කරන අයට කියන්න මේ රටේ මේ අහිංසක අලි ඇත්තු ටික මැරෙන එක වලක්වන්න කවුරු මොන ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒ ක්‍රියාමාර්ග ගන්න රජයේ ආයතන වල සහයෝගය අත්‍යාවශ්‍ය බවත් මේ සඳහා හුදෙකලා විසඳුම් කිසිවෙකුට කළ නොහැකි බවත්. ඉතින් කවුරු මොන වැඩේ කළත් රජයේ ආයතන වල සහයෝගය විතරක් නෙමෙයි අනුමැතිය සහ නිර්දේශත් ඕන වෙනවා. ඉතින් ඒ කරන කරන හැම වැඩක්ම අවධානය වෙනතක යොමු කරන්න රජය කරන වැඩ විදියට හංවඩු ගහලා අලි මැරෙන එක නවත්තන්න බෑ. අපිට ඇත්තටම සැකයි මේ වගේ අභූත චෝදනා එල්ල කරන්නේ මේ රටේ අලි ඇත්තු ටික වඳ වෙනකල් බලාගෙන ඉන්න පිරිසක් ද කියලා. මොකද අලි ඇත්තු බේරා ගන්න සැබෑ උවමනාවක් තියන මිනිස්සු ඔහොම කතාවක් කියයිද?

ඇත්තටම, අලි ඇත්තු මැරෙන ක්‍රම තව රැසක් මේ රටේ තිබෙනවා. අපි අපිට පුළුවන් විදියට මේ අහිංසක සත්තු ටික බේරාගන්න මහපොළවට බැහැලා කරන පොඩි වැඩ කොටසක් මේ කරන්නේ. හැබැයි අපිට විතරක් මේ සමස්ථ ප්‍රශ්නයට විසඳුම් ගේන්න බෑ. අලි ඇත්තු රැකගැනීම වෙනුවෙන් තව කරන්න පුළුවන් වැඩ මහ විශාල ප්‍රමාණයක් තියනවා. කවුරු හරි කරන වැඩකට අකුල් හෙලමින්, ඍණාත්මක අදහස් ප්‍රචාරය කරමින් ඔය ෆේස්බුක් එකේ විතරක් අලි රකින අයට අපි කියන්න කැමතියි පුළුවන් නම් ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙලා ඒ වගේ තව තියෙන වැඩ වලින් කොටසක් කරන්න කියලා. අපි නම් එහෙම අයට අවංකව උදව් කරනවා.

තවත් චෝදනාවක් තමයි හාමුදුරුවනේ මේ හදන්න යන අලි උමඟ ප්‍රමාණවත් නැති බව සහ තවත් අලි මාරු වන ස්ථාන කිහිපයකම මෙවැනි උමං මාර්ග ඉදි කළයුතුව තිබියදී මේ ගැටදිවුල කියන ස්ථානයේ හදන උමගෙන් කිසි ඵලක් නොවන බව?

ඇත්ත කතාව ගත්තොත් අපි මුලින්ම ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා හමුවුනු වෙලාවේ ඒ වගේ ස්ථාන කීපයකම මෙවැනි උමං මාර්ග හෝ පාලම් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියා, අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. විශේෂයෙන්ම පිලිසකර කිරීම සිදු කරන මහව – අනුරාධපුර අතර අලිමංකඩ ස්ථාන වල උමං මාර්ග හෝ පාලම් කිහිපයක් ඉදි කරදෙන ලෙස. බන්දුල ඇමතිතුමත් ඒ පිළිබඳ එකඟතාවය ඵල කළා. නමුත් මේ ගැන ඉංජිනේරුවන් සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමේ දී අපිට දැනගන්න ලැබුනා මෙවැනි උමං මාර්ගයක් හෝ පාලමක් ඉදි කිරීම අපි හිතන තරම් පහසු සහ ශ්‍රී ලංකාව වගේ ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දීල තිබෙන රටකට දැරිය හැකි මට්ටමේ කටයුත්තක් නොවන බව. ඔවුන් කියා සිටියා මෙවැනි උමං මාර්ගයක් ඉදිකරනවා නම් එය ඉදි කළ හැක්කේ මේ වන විට දුම්රිය ගමන් නවතා පිලිසකර කරමින් පවතින කොටසක පමණක් බවත් ඒ සඳහා ඔවුන්ට ව්‍යාපෘතියේ කාලරාමුව තුල ඉදි කළ හැක්කේ box culvert ආකාරයේ උමං මාර්ගයක් පමණක් බවත්. කෙසේ වුවත් එවැනි box culvert උමං මාර්ගයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 40-70ත් අතර මුදලක් වැය විය හැකි බවත්. එවිට අපිට ඒ සඳහා සුදුසුම ස්ථානය යෝජනා කරන ලෙස ඉල්ලා සිටියා. එහිදී අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවේදී හඳුනාගෙන තිබූ ස්ථාන කිහිපයක් අතුරින්, ඒ ස්ථාන වල අලි-දුම්රිය ගැටුම් පිළිබඳ පැරණි දත්ත විශ්ලේෂණය කරලා, වැඩිම අලි මරණ සිදුවූ ස්ථානයක් ඒ සඳහා යෝජනා කළා. ඒ ස්ථානය තමයි ගැටදිවුල 95 සහ 96 සැතපුම් කණු අතර ඔය තෝරාගෙන තිබෙන ස්ථානය. ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දුම්රියේ ගැටිලා මියගිහින් තියෙන්නේ ඔය ස්ථානයේ. අපි තෝරන්න කලින් දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේ දී මේ ස්ථානය වනජීවී උමං මාර්ගයක් සෑදීමට සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබුණා. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුවෙත්, වනජීවී දෙපාර්තමේන්තුවෙත්, අපෙත් නිගමනය උනේ මේක තමයි සුදුසුම ස්ථානය මේ වැඩේට කියලා. අනිත් අතින් දැනට සිදුකරන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කරන කොටසේ උමං මාර්ගයක් ඉදි කරන්න තරම් උසක් තියන එකම ස්ථානයත් මේ ස්ථානය විතරයි. මේ සියළුම කාරණා සලකලා බැලුවම ඉතින් ඊට වඩා සුදුසු ස්ථානයක් අපිට නම් හොයාගන්න බැරි උනා.

අප තෝරාගත් ස්ථානය ඒ සඳහා සුදුසුම ස්ථානය බව සනාථ කරමින් සමාරම්භක උත්සවය තිබූ දවසේ උදේම අලි රංචු දෙක තුනක් එම ස්ථානයෙන් රේල් පාර හරහා මාරු උනා. මම හිතන්නේ ඒ වීඩියෝව හැමෝම දකින්න ඇති.

අනිත් කාරණය තමයි box culvert එකකට වැඩිය ලොකු වනජීවී පාලමක් හදන්න පුළුවන් නම් ඒක වඩා හොඳ විසඳුමක් බවත් මීටත් වඩා විශාල තව වනජීවී උමං මාර්ග සහ පාලම් කිහිපයක් හදන්න උවමනාව තිබ්බත් ඒ සියළු කාරණා සඳහා යන අධික වියදම අපිට දරන්න බැරි වීම. ඉතින් මේ ඉදිකරන උමං මාර්ගය තමයි සුදුසුම සහ අවම විසඳුම. අපි අහන්නේ කරන්න පුළුවන් අවම දේ කරමුද? නැත්නම් අහිංසක අලි ඇත්තු ටික තවදුරටත් මැරෙන්න ඉඩ හරිමුද කියලා විතරයි.

අපි දැක්කා ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියනවා මේ උමං මාර්ගය ප්‍රායෝගික නොවන බවත්, උමං තුලින් අලි ගමන් කරන්නේ නැති බවත්, ඒ සඳහා පරිසර හානි තක්සේරු වාර්තාවක් (EIA) සාදා නොමැති බවත්?

ඒ මහත්මියට අපි කියන්න කැමතියි ලෝකයේ වෙනත් රටවල් වල අලි ඇත්තුන්ට රේල් පාරවල්, මහපාරවල් හරහා යන්න හදලා තියෙන වනජීවී උමං මාර්ග පිළිබඳව පළමුව අධ්‍යයනයක් කරන්න කියලා. අපි නම් ඒ පිළිබඳ අධ්‍යයනය කරලා, ඒ සම්බන්ධව කටයුතු කරන ජාත්‍යන්තර ආයතන වල නිර්ණායක අධ්‍යයනය කරලා තමයි දුම්රිය ඉංජිනේරුවන් යෝජනා කළ අවම විසඳුම වූ box culvert එක සුදුසුයි කියලා තේරුම් ගත්තේ. අපිත් කැමතියි විශාල උමං මාර්ගයක් හදලා දෙනවා නම්, නමුත් ඒකට අවශ්‍ය මුදල් ඔය චෝදනා කරන අය හොයලා දෙනවද?

අනිත් කාරණය ගැන කිව්වොත්, පරිසර හානි තක්සේරු වාර්තාවක් කියන නමේම තියනවා “පරිසර හානි” සිදුවන ව්‍යාපෘති වලට තමයි එවැනි වාර්තාවක් අවශ්‍ය වන්නේ කියන එක. දුම්රියේ අලි ගැටෙන එක වලක්වන්න වනජීවී උමං මාර්ගයක් හදන එක “විසඳුමක්” මිස හානියක් වෙන්නේ කොහොමද? අනිත් කාරණය මේ උමං මාර්ගය ඉදි කරන්නේ පවතින දුම්රිය මාර්ගයක් හරහා පැරණි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවක. ඉතින් පරිසර හානි තක්සේරුවක් කරනවා නම් කරන්න ඕන සමස්ථ ව්‍යාපෘතියටම. එවැනි අධ්‍යයනයකින් තමයි මෙවැනි විසඳුම් යෝජනා කරන්න ඕන. හැබැයි එහෙම එකක් සමස්ථ ව්‍යාපෘතියට කළාද නැද්ද කියලා අපි දන්නේ නෑ. හැබැයි අපි එවැනි වාර්තාවකිනේ යෝජනා කළ යුතුව තිබූ විසඳුම් රැසක් යෝජනා කළා.

හැමෝම කතා කරන්නේ උමං මාර්ගය ගැන විතරයි නේද? මොනවද හාමුදුරුවනේ ඒ යෝජනා කළ අනිත් විසඳුම්?

අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිදු කළ අධ්‍යයනයන්ගෙන් පසු වනජීවීන්ගේ, විශේෂයෙන්ම අලි ඇතුන්ගේ ආරත්ෂාව වෙනුවෙන් අපි සමස්ථ දුම්රිය මාර්ග පද්ධතියටම විසඳුම් රැසක් යෝජනා කළා පුවාහන අමාත්‍යාංශය වෙත. සුදුසු ස්ථාන වල වනජීවී උමං මාර්ග සහ පාලම් ඉදි කිරීමට, හඳුනාගත් අලිමංකඩ හරහා වැටී ඇති දුම්රිය මාර්ග අසල මාර්ගය ආලෝකමත් කිරීමේ පද්ධති සවි කිරීමට, ඒ වගේම එවැනි අලි මාරු වන ස්ථාන වල අලින්ට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි සිල්පර කොට අතර හිඩැස් පිරෙන පරිදි ගල් ඇතිරීමට, සුහුරු තාක්ෂණික ක්‍රම මගින් දුම්රිය මාර්ගයේ අලි ඇතුන් සිටිනවා නම් එය හඳුනාගෙන දුම්රිය රියදුරන්ට සහ ස්ථානාධිපති වරුන්ට දැනුම්දීමේ ස්වයංක්‍රීය පද්ධති ස්ථාපිත කරන ලෙස, උතුරු සහ නැගෙනහිර මාර්ග වල දුම්රිය රියදුරන්ට මාර්ගය දෙපස හොඳින් පෙනෙන ආකාරයේ අධි බලැති විදුලි ලාම්පු සවි කිරීමට, දුම්රිය මාර්ග දෙපස ඇති මානා නිති පතා ඉවත් කොට දුම්රිය රියදුරන්ගේ දර්ශනපථය පැහැදිලිව පවත්වා ගැනීමට, සහ අවශ්‍ය ස්ථාන වල වේග සීමා ප්‍රවරු සවි කිරීමටත් අපි යෝජනා කළා. ඊටත් අමතරව මහා මාර්ග වල අලි ඇතුන් ගැටීම වැලැක්වීම සදහාත් මාර්ග සංඥා සහ දැනුවත් කිරීමේ පුවරු සවිකරන ලෙසත් අපි ඉල්ලා තිබෙනවා.

තවදුරටත් ගත්තොත්, උමං මාර්ගය ඉදි කිරීමේ වැඩකටයුතු වලට ඒ ප්‍රදේශයට ගියාම ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් තිබුණා අලි මිනිස් ගැටුම සමනය කරන්න මිනිස්සුන්ගේ පැත්තෙනුත් හිතන්න කියලා. ඉතින් අපි ඒ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු වලටත් සවන් දුන්නා. එම සාකච්ඡා වලදී යෝජනා වූ දෙයක් තමයි ඒ ආසන්නයේ තියෙන රජයේ වන වගාවක් ලෙස පැවති තේක්ක වත්ත අලින්ට සුදුසු ශාක සහ ජල මූලාශ්‍ර හදලා අලි කළමණාකරණ රක්ෂිතයක් බවට පත් කරමු කියන එක. ඉතින් ගල්ගමුව ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම විසඳීම වෙනුවෙනුත්, අලි ඇතුන්ගේ නිජභූමි සංරක්ෂණය සඳහාත් අපි මේ වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන සමඟ එකතු වෙලා තේක්ක කපල ඉවත් කරලා තිබෙන ගැටදිවුල රක්ෂිතය හෙවත් තේක්ක වත්ත ප්‍රති වන වගා ව්‍යාපෘතියක් හරහා අලි ඇතුන් සඳහාම වෙන් වූ වන අලි සංරක්ෂණ කලාපයක් ලෙස පරිවර්තනය කිරීමටත් කටයුතු කරමින් සිටිනවා.

ඉතින් ඒ හැම එකක්ම කරන් පුළුවන්ද ඔබවහන්සේලාට? ඒව රජය කරන්න ඕන දේවල් නේද?

ඔව්, මේව ඇත්තටම රජයක් විසින් සිදු කළ යුතු දේවල්. තමන්ගේ රටේ ස්වාභාවික උරුමය රකින්න රජයක් මෙවැනි පියවර ගත යුතුමයි. හැබැයි ඉතින් ඒක එහෙම වෙලා සහ වෙන්නේ නෑ කියලා අපි දන්නවනේ? ඉතිං අපි ඒකට කාටවත් බැන බැන ඉන්නේ නැතුව අපිට පුළුවන් දේවල් අපිට පුළුවන් මට්ටමින් අපේ ස්වාභාවික උරුමය ආරක්ෂා කිරීම වෙන්වෙන් කරන්න අපි හිතා ගත්තා. ඒ වෙනුවෙන් අපි අපිට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා. දැනටමත් අපිත් එක්ක ලංකාවේ වගේම විදේශීය සංවිධාන, පුද්ගලයින් ඒ වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ඔවුන් තම තමන්ගේ හැකියාවෙන් මේ වැඩ වලට උදව් කරනවා. දැනටමත්, අපිත් එක්ක වැඩ කරන පිරිස් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ විවිධ රටවල් වල සිට මේ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ ගැන අපි ඔවුන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සහයෝගයත් එක්ක අපි කලින් කියපු විසඳුම් කීපයක්ම නුදුරේදීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඉන්නේ. ඒ වගේම අපි ඉදිරියේ දී මේ සියළු යෝජනා මහපොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම, සම්පත්, මිල මුදල් අපි එකතු කරනවා. අපි වගේම අවංකව පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියා කරන තවත් සංවිධාන අපි මේ වැඩපිළිවෙල සඳහා එකතු කරගනිමින් අපේ වනජීවී සම්පත රැකගන්න අපි ක්‍රියා කරනවා. ලෝකයේ වෙනත් රටවල් දිහා බැලුවත් සියල්ල රජයට පවරලා ඒ රටවල් වල මිනිස්සු අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නේ නෑ. තමන්ගේ රට ගැන, පරිසරය ගැන සැබෑ කැක්කුමක් තියෙන මිනිස්සු එකතු වෙලා ලෝකයේ සෑම රටකම මෙවැනි වැඩ කරනවා. ඒ වගේම ඒවා විවේචනය කරමින් කාලය කා දමන පිරිසුත් ඒ හැම රටකම ඉන්නවා. හැබැයි ලෝකය වඩාත් සුන්දර වෙන්නේ මේ වගේ වැඩ වලට අකුල් හෙලන, විවේචනය කරන අය නිසා නෙමෙයි, ඒවා දිහා උපේක්ෂාවෙන් බලා තමන්ගේ ඉලක්කය වෙත යන මිනිස්සු නිසා. ඒ නිසා අපි සුන්දර ලෝකයක් වෙනුවෙන්, මනරම් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වැඩ කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *