රජයට විසඳාගත නොහැකි අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට පරිසර සංවිධාන වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අලි-මිනිස් ගැටුම විසඳීමට රජය ප්‍රම්‍රඛ පාර්ශව ගණනාවක් ගත් උත්සාහයන් අසාර්ථක විය. අලි මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යද්දී රජයේ අකාර්යක්ෂම බලාපොරොත්තු රහිත වැඩපිළිවෙල දෙස බලා නොසිට ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සෙවීම පිණිස දැවැන්ත වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටී.

ඒ සඳහා “අලි-මිනිස් ගැටුම විසඳන්න අලුතින් සිතමු: එක්වෙමු, අලුතින් සිතමු, විසඳමු” (“Rethink HEC: Let’s Unite, Rethink & Resolve”) නමින් වැඩපිළිවෙලක් ඔවුන් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ විශේෂඥයින්, පාර්ශ්වකරුවන් සහ ප්‍රජාව ප්‍රායෝගික, තිරසාර හා මානුෂීය විසඳුම් සෙවීම සඳහා ඒකරාශී කිරීමයි.

එහි පළමු පියවර වශයෙන් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සහ අනෙකුත් පරිසර කන්ඩායම් දුම්රිය දෙපාර්තමේන්තුවේ “සුරකිමු දුම්රිය” වෘත්තීය සමිතිය සමඟ එක්ව දුම්රිය මාර්ග හරහා වැටී ඇති අලිමංකඩ ආශ්‍රිත ප්‍රදේශ අලි ඇතුන් සහ දුම්රිය සඳහා ආරක්ෂාකාරී ප්‍රදේශ වශයෙන් පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි. පසුගිය දිනෙක (2023 නොවැම්බර් 03) ඒ සඳහා පරිසරවේදීන්, විශේෂඥයින්, දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති අලිමංකඩවල් හරහා වැටී ඇති දුම්රිය මාර්ගයේ ගවේෂණාත්මක ක්ෂේත්‍ර චාරිකාවක නිරත වන ලදි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියේ ගැටීමෙන් වැඩිවශයෙන්ම අලි මරණ සිදුවී ඇති මීඔය ආශ්‍රිත අලිමංකඩ සහ අනෙකුත් අවදානම් ස්ථාන හඳුනාගෙන එම ස්ථාන අලි ඇතුන්ට මෙන්ම එම මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහාද සුරක්ෂිත ස්ථාන බවට පරිවර්තනය කිරීම උදෙසා විසඳුම් සෙවීම ඔවුන්ගේ අරමුණයි.

මෙම ගවේෂණාත්මක ක්ෂේත්‍ර චාරිකාව සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි, සුරකිමු දුම්රිය ව්‍යත්තීය සමිති ව්‍යාපාරයේ සභාපති දුම්රිය රියදුරු දුමින්ද බණ්ඩාර, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන්, ස්ථීර මාර්ග පරීක්ෂක (ගල්ගමුව), සහකාර ප්‍රවාහන අධිකාරී (අනුරාධපුර), ප්‍රාදේශීය ඉංජිනේරුවන් සහ පරිසර සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගී විය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ දිනෙන් දින වැඩි වන අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට නොහැකිව ලතවන වගකිවයුතු රාජ්‍ය ආයතන මත තවදුරටත් බලාපොරොත්තු නොතබා ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ පාරිසරික උරුමයේ සංකේතය බඳු වූ අලි ඇතුන් දැනට මුහුණ පා ඇති ඛේදනීය ඉරණම වෙනස් කිරීම උදෙසා ක්‍රියාශීලී සහ ඵලදායී සංරක්ෂණ ක්‍රියාමාර්ග සෙවීමේ සාමූහික වැඩපිළිවෙලක් සකස් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *