ගල්ගමුවේ වන අලින්ට හොඳ කල දසාවක් – කෑම බීම අත ළඟටම!

ගල්ගමුව සහ අඹන්පොල අතර පිහිටි ගැටදිවුල ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ග ව්‍යාපෘතියට සමගාමීව ඒ අසල ඇති ගැටදිවුල රක්ෂිතය හෙවත් තේක්ක වත්ත රක්ෂිතය තුල අලි ඇතුන්ට හිතකර ශාක රෝපණය කර වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස පරිවර්තනය කිරීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධායන සැරසෙයි. එහි පළමු පියවර වශයෙන් තේක්ක කපා ඉවත් කරන ලද මුඩු බිම් පවතින ප්‍රදේශ වල ප්‍රති වන වගා ව්‍යාපෘතියක්ද, තෘණ භූමි සහ වැව් කිහිපයක්ද සාදා එය ප්‍රදේශයේ අලි ඇතුන්ට සුරක්ෂිත බිම් කඩක් බවට පත් කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බව එම සංවිධානය පවසයි.

ප්‍රති වන වගා ව්‍යාපෘතිය සඳහා යෝජිත ප්‍රදේශය

අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගැටදිවුල ප්‍රදේශයේ වන අලි ඇතුන් බහුලව වාසය කරන ප්‍රදේශයක් වන අතර වන අලින් 200 – 350 ත් අතර සංඛ්‍යාවක් වසරේ විවිධ කාල වලදී ගැටදිවුල රක්ෂිතය ආශ්‍රිතව ජීවත් වන බවට වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානය, තබ්බෝව සහ ඉඟිනිමිටිය ජලාශය ආශ්‍රිතව ජීවත් වන වන අලින් පාළුකඩවල, අතරගල්ල, මහ ගල්ගමුව වැව් පසුකොට කහල්ල-පල්ලේකැලේ අභයභූමිය හරහා කලාවැව ජාතික වනෝද්‍යානය දෙසට සහ ආපසු සංක්‍රමණය වන අතරතුර තාවකාලිකව ලැගුම් ගන්නා වන පියසක් ලෙසත් ගැටදිවුල රක්ෂිතය සුවිශේෂී වේ.

රජයේ වන වගාවක්ව පැවත, අංක 2145/37 – 2019 ඔක්තෝබර් මස 16 දින දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් වන සංරක්ෂණ ආඥාපනත යටතේ ගැසට් කරන ලද ගැටදිවුල රක්ෂිත වනානතරය ස්වාභාවික වනාන්තරයක් නොව තේක්ක සහ කායා වැනි ශාක වගා කර ඇති රජයේ වන වගාවකි. අලි ඇතුන් සඳහා හිතකර ශාක සහ ජල මූලාශ්‍ර නොමැති වුවද ගැටදිවුල රක්ෂිත වනාන්තරය තුල අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් නිරන්තරයෙන් ගැවසෙන්නේ එම ප්‍රදේශයේ ඇති එකම වන පියස එය බැවිනි. තේක්ක වත්ත ලෙස හඳුන්වන මෙම වනාන්තරය තුල සුදුසු ආහාර සහ ජලය නොමැති වුවද වන අලින් දිවා කාලය එහි ගත කරන්නේ ආරක්ෂාව පිණිසය. රාත්‍රී කාලයේදී රක්ෂිතයෙන් පිටතට පැමිණෙන මෙම වන අලි අවට ගම්මාන වල ජන ජීවිතයට සහ කෘෂිකාර්මික කටයුතු වලට නිරන්තරයෙන් හානි පමුණුවන අතර ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව එම වන අලි පිළිබඳව දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ.

Sri Lankan Elephants Crossing the Railway track at Kasikote, Galgamuwa
දුම්රිය මාර්ගය තරණය කොට තේක්ක වත්ත දෙසට යන වන අලි රංචුවක්. (ඡායාරූපය: ආර්. එම්. ජේ. බණ්ඩාර)

ගැටදිවුල ප්‍රදේශයේ අලි-දුම්රිය ගැටම අවම කිරීම සඳහා ඉදි කරන වනජීවී උමං මාර්ග ව්‍යාපෘතිය අතරතුර ජනතාව සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගැටළුව හඳුනාගත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, ගැටදිවුල වන රක්ෂිතය, අලි කළමණාකරණ රක්ෂිතයක් බවට පත් කිරීමටත්, එහි වන වගාව ඉවත් කළ ප්‍රදේශ වල අලින්ගේ ආහාර සහ ජල අවශ්‍යතා එම වනාන්තරය තුලින්ම සපයා ගත හැකි ආකාරයට ප්‍රති වන වගාවක්, තෘණ භූමි සහ වැව් ඉදි කිරීමටත් සූදානම් වේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගීතාවයෙන් කඩිනමින් ආරම්භ වීමට නියමිත මෙම ව්‍යාපෘතිය අලි-මිනිස් ගැටුම දරුණු ලෙස පවතින අඹන්පොල සහ ගල්ගමුව ප්‍රදේශවල අලි-මිනිස් සහපැවැත්ම තහවුරු කරන ආදර්ශවත් ව්‍යාපෘතියකි.

Kasikote, Getadiwula Wildlife Underpass for Elephants
එම ස්ථානයේ ඉදිකෙරෙන වනජීවී උමං මාර්ගය

එමගින් ආහාර සහ ජලය සොයා ගම් වදින අලි ඇතුන්ට ආහාර සහ ජලය වන අලි කළමණාකරණ රක්ෂිතය තුලම සැපයීම මගින් ඔවුන් ගම්වැදීම සීමා කිරීමට අදහස් කරන අතර, එමගින් ජනතාවගේ වන අලි ගැටළුවට තිරසාර විසඳුමකුත්, ගම්වැදීමේ දී වන අලින්ට සිදු වන අනතුරු වලින් ඔවුන්ට රැකවරණයකුත් හිමි වන බව සුරමුකි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසූහ.

කෙසේ වෙතත් අලි ඇතුන් යනු ආහාර සහ ජලය සපයා මෙවැනි රක්ෂිතයක් තුල සදාකාලිකව සිරකොට තැබිය හැකි ජීවීන් කොටසක් නොවන බවත් ඔවුන් කාලගුණික සහ දේශගුණික සාධක මත වසරේ විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වීම ඔවුන්ගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහාද ප්‍රදේශයේ වනාන්තර යා කරමින් වන අලින් සඳහා සංක්‍රමණික මාර්ග හෙවත් අලි කොරිඩෝ නිර්මාණය කිරීමටද ඉදිරියේ දී කටයුතු කිරීමට අදහස් කරන බවත් උන්වහන්සේ තවදුරටත් සඳහන් කළ සේක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *